පුතාව බේරාගැනීමට උත්සාහ කළ පියාට දිවි අහිමිවෙයි

පුතාව බේරාගැනීමට උත්සාහ කළ පියාට දිවි අහිමිවෙයි

October 22, 2024   02:38 pm

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කර ඇති බව වාර්තා වී තිබේ.

ඒ ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේදී ය.

පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලීසිය පැවසුවේ ය.

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19 වනදා සවස, පොලිස් නිලධාරීන් බව පවසා පිරිසක් ජීප් රථයකින් පැමිණ තිබුණි.

එම පිරිස නිවසේ සිටි තරුණයෙකුට මාංචු දමා ඇසිඩ් ගසා බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කිරීමේදී ඔහුගේ පියා එය වැළැක්වීමට උත්සාහ කර ඇති බව පොලීසිය පැවසුවේ ය.

එහිදී පියා ජීප් රථයේ එල්ලී ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීම නිසා ඔහු ඉන් වැටී ඇති බව සඳහන් ය.

එහිදී ජීප් රථයේ රියදුරු එම පුද්ගලයා ව යටකරමින් රථය ඉදිරියට පදවා ඇති බව පැවසෙයි.

පොලීසිය සඳහන් කළේ අනතුරුට ලක්වූ 65 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

පැහැරගැනීමට ලක් වූ පුත්‍රයා තුවාල සහිතව මහමඟ දමාගොස් සිටියදී ඥාතීන් රෝහල්ගත කර තිබුණි.

පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුව ලෙස සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය.