ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිවයිනට

October 19, 2023   12:23 pm

පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ජනාධිපතිවරයා ඇතුළු පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ව තිබේ.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.

මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, පස් දින නිල සංචාරයක් සඳහාය.

මෙරට ආර්ථික වර්ධනය මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනයට ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය ගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

ඇය අද (19) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පැමිණ එහි සාම්ප්‍රදායික සීනූව නාද කිරීම සඳහා ද එක් වී ඇත.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට කඩිනමින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වල දී මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ තිරසරභාවය සඳහා ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.

එමෙන්ම විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම ද මේ වනවිට බොහෝ දුරට අවසන් අදියරට පැමිණ ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර, අලුතින් ඉදි වූ Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද පෙරවරුවේ විවෘත කෙරිණි.

ඒ අනුව පාරිභෝගිකයන්ට අද සිට භාණ්ඩ මිල දී ගැනීමට මෙන්ම නවතම විනෝදාස්වාද අත්දැකීමක් ද මේ හරහා ලබා ගැනීමට හැකියාව පවතින බව සඳහන්ය.