සයුරෙන් එතෙර
TikTok ගැටලුවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසඳුමක් දෙන්න සැරසෙයි
December 28, 2024 04:31 pm
තමන් ධුරයට පත්වන තෙක් අමෙරිකාවේ TikTok තහනම පිළිබඳ තීන්දුව ලබා නොදෙන ලෙසට තේරී පත්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.
තමන් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු TikTok ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන විසදුමක් ලබාදීම ට්‍රම්ප්ගේ අපේක්ෂාව වෙයි.
චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මත කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේ මෙම වසර ආරම්භයේ දී ය.
ඒ අනුව ටික්ටොක් මෘදුකාංගය රටපුරා තහනම් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟ වුණි.
එවන් පසුබිමක අමෙරිකානු කොංග්‍රසයේ එම නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ෆෙඩරල් අධිකරණයේ පෙත්සමක් ගොනු කළත් එය මීට සති කිහිපයකට පෙර ප්‍රතික්ෂේප වුණි.
ඒ අනුව ටික්ටොක් තහනම් කිරීම පිළිබඳ තීන්දුව ලබන ජනවාරි 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එලෙස තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස තේරී පත්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.
තමන් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ටික්ටොක් සම්බන්ධ ගැටළුවට දේශපාලනික විසදුමක් ලබාදීම ට්‍රම්ප්ගේ අරමුණ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව අනුව ටික්ටොක් සේවාව අයත් චීනයේ බයිට්ඩාන්ස් සමාගම වහාම එහි කොටස් අමෙරිකානු සමාගමකට පැවරිය යුතු වෙයි.
එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් භාවිතය තහනම් වනු ඇත.
ටික්ටොක් මෘදුකාංගය ඔස්සේ අමෙරිකානුවන්ගේ රහසිගත දත්ත සොරාගෙන චීනය වෙත ලබාදෙන බව අමෙරිකානු දේශපාලනඥයින් බහුතරයකගේ මතයයි.
කෙසේ වුවද බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ අමෙරිකාවේ මෙම පියවර පරිශීලිකයින් මිලියන 170කගේ නිදහස් භාෂණයට ඇති අයිතිය උල්ලංඝනය කරන බවය.