ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් අරඹයි
සයුරෙන් එතෙර

ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් අරඹයි

October 14, 2023   10:29 pm

ඊශ්‍රායලය නිකුත් කළ අනතුරු ඇඟවීම් හමුවේ මේ වනවිට උතුරු දිග ගාසා තීරයේ ජනතාව දකුණු දෙසට ඉවත්ව යමින් සිටී.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.

මේ අතර මේ මස අගදී ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව දක්වා සංචාරකයින් 8,000කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන ඒමට නියමිතව තිබු ආර්කියා ගුවන්සේවය සිය ගුවන් ගමන් මාස දෙකක කාලයකට කල්දමා ඇති බව වාර්තා වෙයි. 

ඊශ්‍රායල් - හමාස් ගැටුම් ආරම්භ දින 8ක් ගතවන අද ලොවම අවධානය යොමුව ඇත්තේ උතුරු ගාසා තීරයේ සිටින වැසියන්ට වෙතය.

ඒ පැය 24ක් තුළ උතුරු ගාසා තීරයේ ජීවත් වූ මිලියනයකට වැඩි පිරිසකට දකුණු ප්‍රදේශයට යන ලෙසට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීම හේතුවෙනි. 

හමාස් සංවිධානය චෝදනා කරන්නේ මෙලෙස ඉවත්ව යන ජනතාවට පවා ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ බවය. 

මෙවන් පසුබිමක ඇතැම් පිරිස් ගාසා තීරයේ උතුරු දෙසින් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි.

පලස්තීන ජාතිකයෙක්,

"මේක අපි හැමෝගෙම තීරණයක්. මොන දේ සිදු වුණත් අපි මෙහි සිටිනවා. මේ ගාසා හි පුරවැසියන් විදිහට අපි හැමෝගේම තීරණයක්."

කෙසේවෙතත් ගාසා තීරයේ පළමු ගොඩබිම් මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
 
හමාස් ත්‍රස්තවාදීන් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සොයා සිදුකරන මෙම මෙහෙයුමේදී අතුරුදන් ඊශ්‍රායල ජාතිකයින් කිහිප දෙදෙනකුගේ සිරුරු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. 

ඊයේ ද හමාස් සටන්කාමීන් මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් මිය ගොස් ඇති ඊශ්‍රායල වැසියන් ගණන 1,300කට අධිකය.

යුද්ධය ඇරඹි පසුගිය සති අන්තයේදී හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ හොලිට් ජනාවාසය වෙත ඇතුළුව එහි සිටි දරුවන් සමග සිටින විඩීයෝවක් නිකුත් කර තිබුණි.

කෙසේ වුවද මෙම දරුවන්ගේ දෙමව්පියන් පිළිබඳ තොරතුරු කිසිවක් හෙළිවී නොමැත.

ඊශ්‍රායලය පවසන්නේ, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් ඊශ්‍රායල වැසියන් ගාසා තීරයේ රහසිගත පෙදෙස්වල රඳවා ඇති බවය. 

එම ප්‍රාණ ඇපකරුවන් අතර ළමුන් 13 දෙනෙකු ද සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ අතර, හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය, ගාසා තීරය වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

ඊශ්‍රායල ප්‍රහාරවලින් වැඩි හානියක් සිදු ව ඇත්තේ ගාසා තීරයේ දකුණු දිග කාන් යූනිස් නගරයට ය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති පලස්තීන වැසියන් ගණන 1,900 ඉක්මවන අතර තුවාල ලැබූ පිරිස 8,000 කට ආසන්නය.

ඒ අතරට හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ද අයත් ය.

මිය ගිය හෝ තුවාල ලැබූ පිරිස අතරින් සියයට 60ක් පමණ ළමුන් සහ කාන්තාවන් වෙයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ගොඩනැගිලි 1,300ක් සහ නිවාස 5,000කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

ආහාර හිඟයෙන් පීඩාවට පත්වී සිටින පලස්තීන දරුවන් විනාශ වූ වෙළෙඳසැල්වල සුන්බුන් අතරේ ආහාර ද්‍රව්‍ය සොයන වීඩියෝවක් ද සමාජ මධ්‍ය ජාලවල සංසරණය වෙයි.