දක්ෂිණ අධිවේගයේ අලුත්ම තත්ත්වය

දක්ෂිණ අධිවේගයේ අලුත්ම තත්ත්වය

October 12, 2023   07:20 am

නායයෑමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ වාහන ධාවනය තවදුරටත් ඇණහිට ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා පැවසුවේ, මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදුකරන බවය.

ඊයේ (11) පස්වරුවේ පැවති වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවු නායයෑම හේතුවෙන් පින්නදුව සහ ඉමදුව අතර 102 කිලෝමීටර කොටසේ ගමනාගමන කටයුතු ඇණහිට තිබුණි.

කෙසේවෙතත් මංතීරු හතරෙන් මංතීරු දෙකක් අද (12) දහවල් වන විට යථා තත්ත්වයට පත් කර ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පැවසුවේය.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

"කොළඹ සිට එන අයට පින්නදූව අන්තර් හුවමාරුවෙන් එළියට ගිහින් ගාල්ල, දෙණියාය, මාදම්පේ මාර්ගය දිගේ ගමන් කරලා, නැවත ඉමදූවෙන් ඇතුළු වෙන්න පුළුවන් අධිවේගී මාර්ගයට. මාතර දෙසින් එන අයට ඉමදූවෙන් එළියට ගිහින් දෙණියාය - මාදම්පේ මාර්ගය දිගේ ඇවිල්ලා නැවත පින්නදූවෙන් ඇතුළු වෙලා කොළඹට යන්න පුළුවන්..."

මේ අතර නායයෑම සිදුවූ ස්ථානය අද දින පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර අදාළ නායයෑම සිදුවු අවස්ථාවේ එම ස්ථානය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගොස් සිටි පොලිස් විශේෂ කාර්ය බළකානිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 6 දෙනෙකු පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවය.

මේ අතර, නායයෑමක් හේතුවෙන් ඕපනායක මාදොල ප්‍රදේශයෙන් අවහිර වී තිබු බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.