විදෙස් දුම්වැටි තොගයක් රේගු භාරයට

විදෙස් දුම්වැටි තොගයක් රේගු භාරයට

October 3, 2023   09:17 am

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසිහය ලක්ෂයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔවුන් අද අලුයම 01.10ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය දුම්වැටි 53,200ක් අඩංගු දුම්වැටි කාටූන් 266ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඒ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා මොවුන් විසින් රැගෙන ආ නීතිවිරෝධී දුම්වැටි සියල්ල රාජසන්තක කර ඇත.

සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.