දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්

දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්

November 18, 2024   06:57 am

දැදිගම සහ කිරින්ද පොලිස් වසම්වලදී දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ.

ඊයේ (17) මෙම සිදුවීම් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දැදිගම පොලිස් වසමේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ජයලත්කන්ද, දැදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන් තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

මේ අතර කිරින්ද, යෝධකණ්ඩිය වැවෙහි දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ.

අතුරුදහන් වී ඇති පුද්ගලයා පොරවගම, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් අතර සිටි අයෙක් මෙලෙස දියේ ගිලී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත. 

තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.