ලෝක ළමා දිනය අදයි
October 1, 2023 07:50 am
ලෝක ළමා දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.
සියල්ලට වඩා දරුවන් වටී යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.
ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර ඇති ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ, ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.
මේ අතර, දරුවන්ට නිදහසේ සහ සුරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, දරුවන් හිංසනයට සහ කෘරත්වයට ලක්වීම පාලනය කිරීම සඳහා නව නීති හදුන්වාදීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර, ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දිනය තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන නොමිලේ නැරඹීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා සඳහන් කළේ, දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වන බවයි.
වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා මෙම අවස්ථාව හිමි වන අතර, දෙහිවල සත්වෝද්‍යානය තුළ ළමා දින සැමරුම් උත්සවයක් ද සංවිධාන කර ඇති බව තිලක් ප්‍රේමකාන්ත මහතා සදහන් කළේය.
මේ අතර, දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම අද රත්මලාන ගුවන් හමුදා කදවුර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
එහි දී උදෑසන 08 සිට පස්වරු 06 දක්වා ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.