ප්‍රධාන ගංගා කිහිපයක් දෙපස ජනතාවට දැනුම්දීමක්

ප්‍රධාන ගංගා කිහිපයක් දෙපස ජනතාවට දැනුම්දීමක්

September 27, 2023   09:18 pm

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව මේ වනවිට පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවය.

එසේම තලගහගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතී.

ගිං ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින අතර එය බද්දේගම සහ තවලම ප්‍රදේශවලින් අධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා වර්ධනය වී ඇත.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.