ඉන්දු - කැනඩා අර්බුදයෙන් සික් ජාතිකයින්ට ගැටලු රැසක්
September 25, 2023 03:13 pm
සික් බෙදුම්වාදී නායකයෙකු කැනඩාවේදී ඝාතනයට ලක්වීමෙන් පැනනැගුණු කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදය, ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගත් සික්වරුන්ට නව තර්ජනයක් වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරයි.
තමන් ඉන්දියාව තුළදී හින්දු ජාතිවාදී රජයෙන් පීඩාවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව පවසන සික්වරුන්, උතුරු අමෙරිකාවේදී රැකියා අවස්ථා සහ යහපත් දිවියක් ගතකිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.
මීට වසර 25කට පමණ පෙර පයිප්ප වෑද්දුම්කරුවෙකු ලෙස කැනඩාවට ගොස් එහි පුරවැසිභාවය ලැබූ හර්දීප් සිං නිජාර් වෑන්කූවර් නගරයේ දේවස්ථානයක් අසලදී වෙඩි පහරට ලක්ව මියයාමේ සිද්ධියයි අප ඔබට මීට පෙර අනාවරණය කළ පරිදි කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වීමට හේතුවුණි.
වෑන්කූවර් නගරයේ සික් ජන කොටසට මෙන්ම සික් බෙදුම්වාදීන්ගේ නායකයෙකු වූ හර්දීප් සිං නිජාර් ඝාතනය කිරීම සඳහා ඉන්දීය බුද්ධි අංශවල සම්බන්ධයක් ඇති බවට කැනඩාව චෝදනා නගන අතර ඉන්දීය රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
හර්දීප් සිං නිජාර් ඝාතනයට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට විශ්වසනීය සාක්ෂි පවතින බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
2020 වසරේදී හර්දීප් සිං ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ ඉන්දියාව මෙහිදී දැඩි උදහසට පත්වූ අතර ඉන්දියාවේ කැනේඩියානු බුද්ධි අංශ ප්‍රධානියා පිටුවහල් කිරීමටත්, සංචාර අවදානම් නියෝග නිකුත් කිරීමටත්, කැනඩා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම නතර කිරීමට සහ ඉන්දියාව තුළ කැනඩා රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සීමා කිරීමටත් පියවර ගත්තේය.
ඉන්දියාවේ බිලියන 1.4ක ජනගහනයෙන් සික්වරුන්ගේ ජනගහනය සියයට 2ක් වුවත් මිලියන 30ක ජනගහනයක් වෙසෙන පන්ජාබයේ බහුතරය වන්නේ සීක්වරුන්ය.
සික්වරුන්ගේ ආගමික ඇදහිල්ල බිහිවූයේ මීට වසර 500කට පමණ පෙරය.
ඉන්දියාවෙන් පිටත වැඩිම සික් ජනගහනයක් වෙසෙන්නේ කැනඩාවෙයි.
මේ නිසා ඔවුන් කැනඩාව තුළ සිදුකරන ඉන්දියාවට එරෙහි විරෝධතා ඉන්දීය රජය අපහසුතාවට පත්කළ බව නොරහසකි.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සික්වරුන් සඳහා ඛාලිස්ථාන් නමින් වෙනම රාජ්‍යයක් බිහිකිරීමේ සන්නද්ධ අරගලය 1980 සහ 1990 දශකවලදී ඉන්දීය රජය විසින් මර්දනය කරනු ලැබීය.
නමුත් නිදහස් රටක් බිහිකිරීමේ සීක්වරුන්ගේ බෙදුම්වාදයේ ගිනිදැල් තවමත් මුළුමනින්ම නිවී ගොස් නොමැති බව රොයිටර්ස් විශ්ලේෂණයක් මඟින් පෙන්වා දෙයි.
කැනඩාවේදී ඝාතනයට ලක්වූ සික් බෙදුම්වාදී නායකයාගේ 79 හැවිරිදි මාමා වන හිම්මත් සිං නිජාර් පන්ජාබයේ භාර්සිංපුර තවමත් ජීවත් වේ.
හර්දීප් සිං ඝාතනයට මෝදි රජයේ සම්බන්ධයක් ඇතැයි විශ්වාස කරන ඔහු කැනඩා අගමැති ටෘෘඩෝ ගත් පියවර ඉමහත් ප්‍රසාදයට ලක්කළේය.
එහෙත් එක් සාමාන්‍ය පුද්ගලයෙකු වෙනුවෙන් අගමැති ටෘෘඩෝ එවැනි දැවැන්ත අවදානමක් ගත යුතු නැති බව ඔහු පෙන්වා දෙයි.
තවමත් පන්ජාබයේ ගොවිතැන් කටයුතුවල නිරත හිම්මත් සිං නිජාර් ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදුවීම ගැන කම්පාවට පත්වන අතර පන්ජාබයේ ආර්ථිකයද පිරිහෙමින් පවතින බව සඳහන් කරයි.
කලෙක ඉන්දියාවේ ආහාර මල්ල (BREAD BASKET) ලෙස හැඳින්වූ සශ්‍රීක පන්ජාබය අභිබවා ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත දැන් ඉදිරියට පැමිණ තිබේ.
ඒ පසුගිය දශක දෙක තුළ එම ප්‍රාන්ත නිෂ්පාදන, සේවා සහ තාක්ෂණ ක්ෂේත්‍රයන් පිළිබඳ අවධානය යොමුකරමින් සිදුකළ සංවර්ධන කටයුතු හේතුවෙනි.
දැන් පන්ජාබයේ කෘෂිකර්මාන්තය ඉහළ ආදායම් උපයන ක්ෂේත්‍රයන් නොවන නිසා සෑම සික් පවුලකම සිහිනය වී ඇත්තේ තම දූ දරුවන් කැනඩාව වෙත යැවීමටය.
කැනඩාවේ සිටින ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව අතුරින් වැඩිම කොටස ඉන්දියානුවන් වන අතර, පසුගිය වසරේ එය සියයට 47කින් වර්ධනය වූයේ සංඛ්‍යාත්මකව 3,20,000 දක්වා ඉහළ නංවමිනි.
දැන් පැනනැගී ඇති වාතාවරණය හමුවේ කැනඩාව විසින් තමන්ට ශිෂ්‍ය වීසා (STUDENT VISA) නිකුත් කරාවිද යන්න සහ ඉන්දීය රජය විසින් යම් යම් බාධාවන් පනවාවිද යන්න පිළිබඳව පන්ජාබයේ සික් යොවුන් පෙළ පසුවන්නේ සැකයකිනි.
රොයිටර්ස් වාර්තාකරු පන්ජාබයේ අමිර්ත්සාර් නුවර සික් රන් දොවොලේදී සික් යෞවනයන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.
කැනඩාවේ අධ්‍යාපනය ලැබීමේ සිහින දකින සික් යෞවනයන් ආගමික වතාවත් සිදුකිරීම සඳහා මෙම රන් දෙවොලට පැමිණේ.
ඉන්දියාවේ හින්දු - සික් ගැටුම්වල කේන්ද්‍රය වූ මෙම රන් දෙවොලේ රැඳී සිටි සන්නද්ධ සික් බෙදුම්වාදීන් මුලිනුපුටා දැමීම සඳහා එවකට පැවති ඉන්දිරා ගාන්ධි රජය හමුදා මෙහෙයුමක් දියත් කළ අතර එය ලොව පුරා සීක්වරුන්ගේ උදහසට ලක්වුණි.
ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය සික් ආරක්ෂක භටයෙකුගේ වෙඩි පහරින් මියගියේ ඉන් අනතුරුවය.
සික් ගොවි ප්‍රජාව මුල්වී 2020 වසරේ නවදිල්ලි අගනුවර වසාදමමින් පැවැත්වූ ගොවි විරෝධතාවයෙන් පසු සික් ප්‍රජාව සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය සබඳතා ඉතා දුර්වල මට්ටමකට පත්වුණි.
ඒ, එම ගොවි විරෝධතාව නිසා මහා පරිමාණ කෘෂි සමාගම් බිහිකරන මෝදි රජයේ ගොවි පනත් හකුළා ගැනීමට සිදුවීම හේතුවෙනි.
මේ අතර දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව වෙනුවෙන් කටයුතු කළ යුක්‍රේන යුද ප්‍රවීණයෙකුට (WAR VETERAN) ප්‍රසාදය පළ කිරීම සම්බන්ධයෙන් කැනඩා පාර්ලිමේන්තුවේ කථානායකවරයා සමාව අයැද සිටී.
අමෙරිකා එක්සත් ජනපදයේ සිට කැනඩාවට පැමිණි යුක්‍රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි පිළිගැනීම සඳහා කැනඩා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරයේදී කථානායක ඇන්තනී රෝටා යුරොස්ලාව් හුන්කා නමැති 98 හැවිරිදි යුක්‍රේන යුද ප්‍රවීණයා ප්‍රසාදයට ලක්කළේ අගමැති ටෘෘඩෝ ඇතුළු කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ අත්පොලසන් මැදය.
එම අවස්ථාවේදී යුරොස්ලාව් හුන්කා කැනඩා පාර්ලිමේන්තු ගැලරියේ රැඳී සිටි අතර කථානායක ඇන්තනී රෝටා ඔහු හැඳින්වූයේ යුක්‍රේනයේ ස්වාධීනත්වය උදෙසා රුසියානුවන්ට එරෙහිව සටන් වැදුනු වීරයෙකු ලෙසිනි.
එහෙත් පසුව අනාවරණය වූයේ යුරොස්ලාව් හුන්කා, යුදෙව්වන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය කළ හිට්ලර්ගේ SS බළකායේ සාමාජිකයෙකු බවය.
මේ නිසා යුදෙව් මානව හිමිකම් සංවිධාන ඔහු වීරවරයෙකු ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් සමාව අයදින ලෙස කැනඩා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ වෙතින් කරුණු විමසන බව රුසියාවද ප්‍රකාශ කළේය.
කැනඩාවේ රුසියානු තානාපතිවරයා විසින් ඒ පිළිබඳව කැනඩා රජයට අද ලිඛිත දැනුම්දීමක් කිරීමට නියමිතය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේන නායකත්වය බොහෝවිට හඳුන්වන්නේ නාසිවාදීන් හෝ නාසි හිතවාදීන් ලෙසය.
2014 වසරේ යුක්‍රේනයේ සිදුවූ බටහිර හිතවාදී විප්ලවය පුටින් හැඳින්වූයේ නාසිවාදී කුමන්ත්‍රණයක් ලෙසය.
එහෙත් එම මතය ප්‍රතික්ෂේප කරන යුක්‍රේනය පෙන්වා දෙන්නේ තම නායක සෙලෙන්ස්කිද යුදෙව්වකු බවය.