විදෙස්ගතවූ මවකගෙන් ආයාචනයක්

විදෙස්ගතවූ මවකගෙන් ආයාචනයක්

September 13, 2023   02:59 pm

ආර්ථික ප්‍රශ්න හමුවේ මුදල් නොමැතිව අසරණවන බොහෝ කාන්තාවන් සිදුකරන්නේ ගෘහසේවය සඳහා විදෙස්ගත වීමය.

නමුත් එලෙස විදෙස්ගත වන ඇතැමුන් විවිධ දුක්ගැහැටවලට ලක්වන පුවත් නිරන්තරයෙන් වාර්තා වේ.

මෙයත් එවැනිම සංවේදී පුවතකි.

අඹන්පොල දිගන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිසංසලා ලක්මාලි තිදෙනෙකුගේ මවකි.

වයස අවුරුදු දෙකහමාරක කුඩා දියණිය මෙන්ම වකුගඩු රෝගයකින් පෙළෙන අවුරුදු 7ක පුතුත්, 11 හැවිරිදි වැඩිමහල් පුතුත් සිය සැමියාට භාරකරමින් ඇය කුරුණෑගල පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා පසුගිය ජුලි 8 වනදා සෞදි අරාබිය බලා පිටත්ව යන්නේ පවුලේ අගහිඟකම්වලට විසඳුමක් සොයමිනි.

එහෙත්, විදෙස් ගතවූ නිසංසලාගේ අපේක්ෂාවන් දින 12ක් තුළදී සුන්වෙන්නේ නිවසක ගෘහසේවයට එක්වුණු අතරතුර ඇයට වරින්වර හටගත් උදරයේ වේදනාවක් නිසාවෙනි. 

වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඇයගේ ගර්භාෂයේ ගෙඩියක් පවතින බවය. 

උදරයේ වේදනාවෙන් පීඩාවිඳින ඇය මේවන විටත් රැඳී සිටින්නේ එරට විදේශ රැකියා නියෝජිත ආයතනයක් තුළය.

"මට වැඩකරන්න අමාරුයි. ඒ නිසා මාව ලංකාවට ගෙන්න ගන්න."

සිය බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට විදේශ රැකියා නියෝජිත ආයතනය ඉල්ලන මුදල ලබාදීමට නිසංසලාගේ සැමියාට හැකියාවක් නැත.

වෛද්‍ය පරීක්ෂණයේ දී බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණය නොවුණේ දැයි විමසා සිටි නිසංසලාගේ සැමියාට විදේශ රැකියා නියෝජිත ආයතනයේ පුද්ගලයෙක් පවසා සිටියේ "පාස්ට්පෝට් එක බොස්ගේ අතේනේ තියෙන්නේ, එයාට සල්ලි දෙනකල් මෙයාට එක්සිට් ගහන්නේ නෑ..." යනුවෙනි.

දරුවන් තිදෙනාගේ කුස පිරවීමත්, වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් යැවීමත් නිසංසලාගේ සැමියාට අභියෝගයක් වී ඇත.

"විදේශ සේවා එකට ගිහින් පැමිණිල්ලක් දැම්මා තාම නෑ කෝල් එකක්වත්. ගොඩක් අසනීප තත්ත්වයෙන් එයා ඉන්නේ. මට වැඩකට යන්න විදියකුත් නෑ. ළමයි ඉස්කෝලේ යවා ගන්නත් බෑ. අදත් ගියේ නෑ. උයන්නත් කිසිදෙයක් නෑ. පුළුවන් දෙයක් ඉක්මනින් කරලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ."

නිසංසලාගේ පවුලේ අයට උදව් කරන්න ඔබටත් හැකිනම් එය මහඟු උපකාරයක් වනු නොඅනුමානය.

නිසංසලාගේ සැමියා - 076 3022745