ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

September 5, 2023   09:26 am

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවය. 

ඊයේ (04) දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද ඒ මහතා දැනුම්දෙයි.

කෙසේනමුත් ගිං සහ නිල්වලා ගංගාවල පහළ ප්‍රදේශවල මෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ පහළ ප්‍රදේශවල, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම තවමත් ඉහළ අගයක පවතී. 

එම ප්‍රදේශවල සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක ඇතිවීමේ ඉඩක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසීය.

මෙම ගංගාවල ජල මට්ටම ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියව පවතින බව ද සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශේෂයෙන් නිරිතදිග කොටස් හැරුණු විට අනෙක් ප්‍රදේශවලට මේ දක්වා පසුගිය කාලය තුළ සැලකියයුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජලාශවල ජලමට්ටමේ වර්ධනයක් නොමැති බව ද ඒ මහතා පැවසීය.