නියඟය වසන්තයක් කරගත් නොමිනිසුන්

නියඟය වසන්තයක් කරගත් නොමිනිසුන්

August 28, 2023   03:31 pm

ජලය සොයා පැමිණෙන සතුන් දඩයම් කිරීමේ නිරත සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පවතින නියං තත්ත්වය හේතුවෙන් ජලය සොයා විල්පත්තුව වන උද්‍යානය සහ තබ්බෝව අභය භූමිය මැදින් ගලා යන කලා ඔයට පැමිණෙන සතුන් සංවිධානාත්මක ලෙස දඩයම් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

මොවුන් දින ගණන් කඳවුරු බැඳ වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිට ඇති අතර ඔවුන් සතුව තිබී කොටන ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක්, පිහි, විදුලි පන්දම්, මූනිස්සම් පුරවන පතොරම් කොපු, මූනිස්සම්, අහස්කූරු, යතුරුපැදි 7ක් සහ කූඩාරම්ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35 ත් 67 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වනාතවිල්ලුව, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ය.

වැටලීම අතරතුරදී තවත් සැකකරුවන් 8 දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.