භූගත ජලය භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

භූගත ජලය භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

August 22, 2023   11:48 am

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නන් වඩාත් කල්පනාකාරී වන ලෙස ජල සම්පත් මණ්ඩලය දැනුම්දෙයි.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා සඳහන් කළේ, භූගත ජලය භාවිත කිරීමේ දී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කර ගන්නා ලෙසය.

භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකිය.

කෙසේවෙතත් ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයකට ජල සාම්පල රැගෙන යාමට නොහැකි නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුණගැසී ප්‍රාථමික පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසට ද එම මණ්ඩලය සඳහන් කරයි.

"ජල මට්ටම අඩුවීමත් එක්ක සමහර වෙලාවට ළිංවල ජලයේ ලවණතාවය වෙනස් වෙන්න පුළුවන්. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, සමහර ප්‍රදේශවල ළිංවල ජල මට්ටම අඩුවීමත් සමග එහි ලවණතාවයේ වෙනස්වීමක් ඇති වෙන්න පුළුවන්. එතැනදි ජලය ගොඩක් අඩුවුණාම ජලයේ රස, ගඳ වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ජල සම්පත් මණ්ඩලයේ ළඟම තියෙන ලැබ් එකෙන් පරීක්ෂා කරලා උපදෙස් ලබාගෙන පානය කරන්න ගන්න. මේ වනවිට නම් බීමට නුසුදුසු තත්ත්වයට පත්වෙලා නෑ. ලවණතාවයේ යම් වැඩිවීමක් තියෙනවා."