මූව් ෆෝවඩ් පක්ෂයේ ආණ්ඩු සිහිනය නිල වශයෙන් බොඳවෙයි
සයුරෙන් එතෙර

මූව් ෆෝවඩ් පක්ෂයේ ආණ්ඩු සිහිනය නිල වශයෙන් බොඳවෙයි

August 16, 2023   03:55 pm

තායිලන්තයේ පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් ආසන 151ක් හිමිකර ගනිමින් විශාලතම ජයග්‍රාහකයා වූ තායිලන්ත නව යොවුන් පක්ෂය 'මූව් ෆෝවඩ්' පක්ෂයට එරට මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නොහැකි වන බව අද (16) තහවුරු විය.

ඒ, මූව් ෆෝවඩ් පක්ෂ නායක පිටා ලිම්ජරොයෙන්රාත් අග්‍රාමාත්‍ය අපේක්ෂක ධුරයට නැවත නම් කළ නොහැකි බව තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය විසින් තීන්දු කිරීම හේතුවෙනි.

ආසන 500කින් යුත් තායිලන්ත පාර්ලිමේන්තුවේ ආසන 312ක් සහිත සන්ධානයක් ගොඩනැගුව ද පිටා ලිම්ජරොයෙන්රාත්ට අගමැති ධුරය සඳහා පැවති ඡන්දයෙන් ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් හිමිකරගැනීමට නොහැකි විය.

ඒ, 2014 වසරේ බලයට පැමිණි ප්‍රයුත් චාන් ඕචාගේ හමුදා රජය තායි ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු ආසන 250කින් යුත් සෙනෙට් මණ්ඩලයක් ද ඊට එක්කිරීම හේතුවෙනි.

ඔවුහූ තායි ජාතිකවාදී පක්ෂ හා එක්ව පිටා ලිම්ජරොයෙන්රාත් ව අගමැති ධුරය සඳහා පැවති පළමු ඡන්ද විමසීමේ දී පරාජය කිරීමට සමත් වූහ.

දෙවන ඡන්ද විමසුමේ දී පිටාට නැවතත් අගමැති අපේක්ෂකයෙකු විය නොහැකි බවට සෙනෙට් මණ්ඩලයේ සහාය ලද යෝජනාවක් සම්මත කෙරුණු අතර, පසුව එම යෝජනාව ව්‍යවස්ථාදායක අධිකරණයේ දී අභියෝගයට ලක්කෙරිණි.

එහි තීන්දුව අද ප්‍රකාශයට පත්කෙරුණු අතර, මේ අනුව දෙවනුව වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිකරගත් පියු තායි පක්ෂයේ අපේක්ෂක ස්‍රෙතතෙවිසින්ගේ අපේක්ෂකත්වය ඉදිරි දින කිහිපයේ දී ඡන්ද විමසීමට ලක්කෙරෙනු ඇත.

ඒ සඳහා ඔහුට හමුදා නියෝජනයක් සහිත සෙනෙට් මණ්ඩලයේ මෙන්ම පසුගිය සන්ධාන රජයේ පක්ෂවල සහාය ලබාගැනීමට ද සිදුවන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එවැනි ආණ්ඩුවක් තුළින් තායිලන්ත ජනතා මතය පිළිඹිබු නොවන බව මූව් ෆෝවඩ් පක්ෂය පවසයි.