තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා වටලයි

තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා වටලයි

August 12, 2023   07:51 pm

දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගන්නා බව පවසා තරුණයන් රවටා රුපියල් කෝටි ගණනක මුදල් ගරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට "අද දෙරණ උකුස්සා"ට හැකි විය.

උකුස්සාගේ අද (12) අනාවරණය ඒ පිළිබඳවය.

දකුණු කොරියාවේ පෑස්සුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයින් බඳවාගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව පරීක්ෂණයක් පැවැත්වෙන බවට "අද දෙරණ උකුස්සාට" තොරතුරක් ලැබුණි.

ඒ, කොලොන්නාවේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදීය.

මෙය නීතිවිරෝධී පරීක්ෂණයක් බව තහවුරු කර ගැනීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමග "අද දෙරණ උකුස්සා" එම ස්ථානයට පිටත්ව ගියේය.

"අද දෙරණ උකුස්සා" එම ස්ථානයට යන අවස්ථාවේදීත් එම සම්මුඛ පරීක්ෂණය ආරම්භ වී තිබුණි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම පරීක්ෂණය මෙහෙයවමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් ලක්ෂ 3ත් 5ත් අතර මුදලක් කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති බවත් සම්මුඛ පරීක්ෂණයට රුපියල් 22,000ක මුදලක් ලබාගෙන ඇති බවත් සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි පුද්ගලයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය.
 
අනතුරුව එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් අදාළ ස්ථානයෙන් පිටතදී අත්අඩංගුවට ගත්තේය.

ඒ අතරතුර එම ජාවාරම සිදුකරන පුද්ගලයාගෙන් සම්මුඛ පරීක්ෂාවට පැමිණි පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ලැබුණි.

ඔහු ඒවන විටත් අදාළ ස්ථානයෙන් පළාගොස් සිටි අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

ඉදිරියේදීත් මෙවැනි වංචා රට හමුවේ අනාවරණය කිරීමට "අද දෙරණ උකුස්සා" සීරුවෙනි.