උඩවලව සිඳී ගිය හේතුව කෝප් කමිටුවේදී එළියට

උඩවලව සිඳී ගිය හේතුව කෝප් කමිටුවේදී එළියට

August 11, 2023   08:53 pm

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිසි කාලයට ජලය ලබා ගැනීමට නොහැකි වූයේ ජල පාලක කමිටුවේ පැවති අඩුපාඩු හේතුවෙන් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළිවිය.

ඒ මහවැලි අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වු කෝප් කමිටු සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ අනවශ්‍ය වෙලාවක ජලය  නිකුත් කළා කියලා ඇතැම් පිරිස් චෝදනා කරන බවය.

එහිදී අදහස් දැක්වූ ජල පාලක ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා,

"පටන් ගත්ත දවසේ ඉදලා වැස්සක් නෑ. ඒ නිසා මුර 12ම අපිට දෙන්න සිද්ධ වුණා. අක්කර අඩි 21,600 ක ජල හිඟයක් ඇතිවුණා. උඩවලව ජලය මදි නිසා සමනලවැවෙන් ඉල්ලුවා ජූලි 30 වනදා රැස්වීමේදී. විදුලිබල මණ්ඩලයේ නියෝජිතයින් තීරණයක් ගන්න බැහැ කිව්වා. උඩවලවෙන් දිනකට අක්කර අඩි 2,000 ක් නිදහස් කළ යුතුයි. සමනලවැවෙන් අක්කර අඩි 2,500 ක් අවශ්‍ය බව කිව්වා. නමුත් ලැබුණේ අක්කර අඩි 400 ක් පමණයි. අපිට ඒක කොහොමත් කර ගන්න බෑ. ඉල්ලීම පරිදි නොලැබුුණ එක තමයි ගැටලුව."

කෝප් කමිටු සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

"ඇයි විදුලිබල මණ්ඩලයටත් අන්තිමට තරු පේනකම් හිටියේ. දැන් ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒ අයගේ එක නිෂ්පාදනය කරගන්න බැරුව ඉන්නේ. ඔබතුමාලා ඒ අස්සේ වතුර ඉල්ලනවා. එයාලා කියන්නේ කලින් ඉල්ලුවානම් දෙනවා කියලා. මේක ඔයාලගේ ප්‍රශ්නයක්. සැලසුමක් නැති එකේ ප්‍රශ්නය මේ තියෙන්නේ."

ජල පාලක ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා,

"ජලය ඉල්ලපු ප්‍රමාණය ලැබුණා. නමුත් අපේක්ෂිත වර්ෂාව ලැබුණේ නැහැ. උඩවලවට අපේක්ෂිත වර්ෂාවෙන් 50% යි ලැබුණේ. වසර ගණනාවකින් ලැබුණු අඩුම වර්ෂාව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අප්‍රේල් මාසයේ කියනවා. ප්‍රමාණවත් අනාවැකියක් ඉදිරිපත් කරන්න බැහැ කියලා. වර්ෂාවක් ඇතිවීමේ සම්භාවිතාවක් තිබෙනවා කිව්වා. එතකොට මට කිසිදු තීරණයක් ගන්න බැහැ. ලංකාවෙම වගා කරන්න දෙන්න බැහැ කියන්න තමයි මට කියන්න වෙන්නේ. ඉල්ලපු ජල ප්‍රමාණය ලැබුණානම් ගැටලුවක් නැහැ."

කෝප් කමිටුව සමාජික පාර්ලිමෙන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා,    

"ඇයි අන්තිම මොහොත වෙනකල් හිටියේ. දකුණු පළාතේ විදුලි සම්බන්ධතාව තවම සම්පූර්ණ නැහැ. සමනලවැවේ ජලය නිකුත් කළොත් හදිසි මිලදීගැනීමට යන්න වෙනවා.30 වනදා ඇමතිතුමාට කතා කරලා 01 වනදා ඉල්ලලා හරියන්නේ නැහැ. එතුමාටත් එකපාර තීන්දු ගන්න බෑ. කර්මාන්ත කිහිපයක් බලන්න ඕනේ." 

කෝප් කමිටු සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

"අවසානයේ මේක රටේ ප්‍රශ්නයක් බවට පත්වෙලා ජනතාව පාරට ඇවිල්ලා අපි වැරදිකාරයෝ වෙලා. ජල පාලක කමිටුවේ ගැටලුව විසඳාගන්න. ජනතාව ජල පාලක කමිටුවට ගහන්න ඕනේ. පිදුරුවලට අවසානේ වතුර දුන්නේ. අදාළ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. අවසානයේ වතුර දෙන්න කැබිනට් එකට යන්න වුණා."