සර්වජන බලයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනුරාධපුරයෙන් අරඹයි

සර්වජන බලයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනුරාධපුරයෙන් අරඹයි

October 19, 2024   01:21 pm

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සර්වජන බලයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනුරාධපුරයෙන් අද (19) ආරම්භ කෙරෙයි.

ප්‍රචාරණ කටයුතු ආරම්භයට පෙර සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑය වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

මේ අතර කළගෙඩිහේන ප්‍රදේශයේදී ඊයේ (18) පැවති සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාස නායක හමුවකටද එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එක්විය.

එහිදී ඔහු පවසා සිටියේ, තමන් සිදුකරන්නේ අතේ තිබෙන මුදල් වියදම් කරන දේශපාලනයක් මිසක්, කාගෙන් හෝ කඩාවඩා ගැනීමට කරන දේශපාලනයක් නොවන බවය.

"අපි කරන්නේ අතේ තියෙන සල්ලි වියදම් කරන දේශපාලනය මිසක්, කාගෙන් හරි කඩාවඩාගන්න කරන දේශපාලනයක් නෙමෙයි. මේ රටේ මොන ආර්ථිකය දියුණු කරන්නත් මේ රට රැකෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි මහන්සි වී වැඩ කරන්නේ."   
"අපට මේ ඇවිත් තියෙන්නේ රත්තරන් අවස්ථාවක්. මේ පාර එන ප්‍රතිඵලය විශ්මයට පත්කරන ප්‍රතිඵලයක් වීමට ඉඩ තිබෙනවා."