වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් ගණන ඉහළට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් ගණන ඉහළට

August 9, 2023   06:32 pm

වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 05ක පවුල් 28,945කට අයත් පුද්ගලයන් 93,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මීට පෙර සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුරු පළාත්වලින් පමණක් පුද්ගලයන් වාර්තා වී තිබුණ ද මේ වන විට ඌව පළාතෙන් ද පීඩාවට ලක්වූ පුද්ගලයන් වාර්තා වෙයි.

මාධ්‍ය හමුවකට එක්වූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බවයි.

මේ අතර, මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, පවතින වියළි කාලගුණ තත්ත්වය දේශපාලන සටන් පාඨ ලෙස යොදා නොගන්නා ලෙස තමන් සියලු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් සිදු කරන බවය.

කෙසේ වෙතත් මේ වන විට ජලය නොමැතිකම හේතුවෙන් වලව කළාපයේ ගොවීන්ගේ වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ලබා දීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

වගා කටයුතු සඳහා ජලය ලබා නොදීමට එරෙහිව ඔවුන් පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු අද සිදුකෙරිණි.