සොරකම් 24ක් සිදුකර සැඟවී සිටි කල්ලියක් කොටුවෙයි

සොරකම් 24ක් සිදුකර සැඟවී සිටි කල්ලියක් කොටුවෙයි

December 25, 2024   06:19 pm

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන් කණ්ඩායමක් මහනුවර, ගලහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 19, 21, 22, 23 සහ 26 යන වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙම පිරිස වසර 4ක් පුරා යාපනය, වව්නියා, කයිට්ස්, මාමණ්ඩු, ගම්පොළ, ගලහා, නුවරඑළිය, කඳපොළ සහ මාතලේ යන ප්‍රදේශවල නිවාස, කෝවිල් සහ රන් ආභරණ වෙළෙඳසැල් බිඳ මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ මේ වනවිට සැකකරුවන් විසින් සිදුකළ සොරකම් 24ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවය.

මෙම සැකකරුවන්ට එරෙහිව යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු 9ක් නිකුත් කර ඇති බව ගලහා පොලීසිය පවසයි.

අධිකරණවලින් නිකුත් කළ වරෙන්තු අනුව සැකකරුවන් කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවලට ගොස් නිවසක් කුලියට ගෙන එහි සිට මෙම සොරකම් සිදුකොට ඇති බව වාර්තා වෙයි.

ඔවුන් සොරකම් කළ මුදල්  මේ වනවිට වියදම් කර ඇති අතර සොරාගත් රන් ආභරණ කිහිපයක් පමණක් යාපනය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක තිබියදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.