ගොවීන්ගෙන් දැඩි තීරණයක්

ගොවීන්ගෙන් දැඩි තීරණයක්

August 5, 2023   01:17 pm

ගොවීන් පිරිසක් අද (05) සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරත විය.

ඒ උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනල වැවෙන් මුදාහරින ලෙස ඉල්ලමිනි.

ඔවුන් පවසන්නේ ජලය මුදාහරින තෙක් තමන් එම ස්ථානයෙන් ඉවත්වී නොයන බවය.

ඒ අනුව සමනල වැව ජලාශය අවට අද ආරක්ෂාව තර කර තිබෙන ආකාරය දක්නට ලැබේ.

පවතින වියළි කාලගුණයත් සමග උඩවලව ජලාශයේ ජලය සිඳීයෑම නිසා තම වගාවන්ට ජලය නොමැතිව එම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත්වී සිටී.

වලව මහවැලි බලප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් 12,000කට අධික ප්‍රමාණයකට උඩවලව ජලාශයෙන් ජලය සපයන අතර අද වන විට ජලාශයේ ඇති සක්‍රීය ජල ප්‍රතිශතය සියයට 1.4ක් පමණි.

මේ හේතුවෙන් පවුල් 86,000 ක් පමණ බලපෑමට ලක්වී තිබේ. 

එවැනි පසුබිමක උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනල වැවෙන් මුදාහරින ලෙස ඉල්ලා ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද 13 වැනි දිනටත් ක්‍රියාත්මකය.

මේ අතර වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ පොළොන්නරුවේදී පැවසුවේ දින 20කට විදුලි කප්පාදුවකින් තොරව සමනල වැවෙන් ජලය ලබාදීමේ හැකියාව පවතින බවය.

ගොවියාට ජලය සැපයිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද තමන් සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.