මිනෝද් භානුකගේ මහන්සිය අපතේ යයි

මිනෝද් භානුකගේ මහන්සිය අපතේ යයි

July 15, 2023   06:04 pm

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව අද (15) පැවැති තරගය ලකුණු 11කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත්තේ ලකුණු 252ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Riaz Hassan ලකුණු 82ක් රැස්කළ අතර Noor Ali Zadran ලකුණු 53ක් රැසක් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3ක් දවාගත් අතර දුෂාන් හේමන්ත කඩුලු 2ක් දවාගත්තේය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 253ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 241ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරතවූ මිනෝද් භානුක ලකුණු 119ක් රැස් කළේය.

දුෂාන් හේමන්ත ලකුණු 31ක් රැසක් කළ අතර නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 21ක් රැස්කළේය.