ලංකාව බංකොලොත් කළේ කවු ද?

ලංකාව බංකොලොත් කළේ කවු ද?

July 13, 2023   11:59 am

පෘතුගීසි භාෂාවෙන් මෙරට වාග්කෝෂයට ලද යෙදුම් ගණනාවක් ඇත. බංකොලොත් යන යෙදුම ද එසේ පෘතුගීසි භාෂාවෙන් සිංහලයට තත්සම වූ වචනයකි. ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂය තුළ බංකොලොත් එසේත් නැති නම්, බංකොලොත්තු යන්න අර්ථ දක්වා ඇත්තේ, ධන හානියට පත්වීම, වස්තු භංගත්වයට පැමිණීම ලෙසිනි.

බංකොලොත් යන යෙදුම පසුගිය සමයේ දී ලාංකිකයන්ට අසන්නට ලැබුණු ජනප්‍රිය යෙදුමකි. අපේ රට බංකොලොත් වී ඇති බවත් ණය ගෙවීමට නොහැකි බවත් උද්ධමනය හීයක වේගයෙන් ඉහළ යන බවත් ඒ සමඟ ම ඇසෙන්නට ලැබිණි. බංකොලොත්කම මනින විවිධ වූ ප්‍රස්තාර, ශ්‍රේණිගත කිරීම්වල ද ලංකාවට හිමි වුණේ, ඉහළ ස්ථානයකි. උද්ධමන වගුවේ ඉහළ ම ස්ථානයකට ගමන් කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි විය. කෙසේ වෙතත් මේ මොහොත වන විට ශ්‍රී ලංකාව, ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම් තුළ බංකොලොත් තත්ත්වයෙන් යම් තරමකින් මිදී ඇත. ඉලක්කම්, ප්‍රස්තාර, වගු ආදී විද්‍යාත්මක පදනම් හරහා 'අපි දැං බංකොලොත් නෑ' යන මුරගෑම සිදු කළ හැකි නමුත් මහපොළොවට දැනෙන තැන දී අපි බංකොලොත් නෑ යනුවෙන් පැවසීම සාධාරණ ද?

ඉතිහාසයේ උගත් පාඩම්

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ 1948දී ය. එතැන් සිට අද දක්වා වසර 75ක් ගතවී තිබුණත් තවමත් බංකොලොත් යන වචනයට බිය වී සිටින්නට අපට සිදු වී ඇත. ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබන විට අපට තිබුණේ, ගෙවුම් ශේෂයක් නොව ගෙවුම් අතිරික්තයකි. ගෙවුම් අතිරික්තයක් පවත්වා ගැනීමට තරම් දියුණු ආර්ථික කළමනාකරණයක් අපට තිබිණි. එසේ නම් ගැටලුව ඇත්තේ කොතැන ද? 

පිරිසක් 1956 බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ගැන කතා කරති. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හරහා ජාතිවාදී ගැටුම් සඳහා විභවතාවක් ඇති කළ බවත් දැනටත් විද්‍යමාන වන ඉංග්‍රීසි භාෂා සාක්ෂරතා දුර්වලතාවට ද එය හේතුවක් වූ බවත් ඒ පිරිසගේ මතයයි. 1971 දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය වූ අතර, ජාතික ආර්ථිකය දියුණු කිරීමේ ප්‍රතිපත්තිය හෙවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එහි න්‍යායික පදනම විය. ආවෘත ආර්ථිකයේ අමිහිරි මතකයන් ගැන අදට ද සිහිකරන පුරවැසියන් සිටින්නේ, මෙම සිදුවීම ගැන කතා කරමිනි. දේශී‍ය ආර්ථිකය දියුණු කිරීමට නම්, ගෙවතු වගාවට හුරු වූ දේශජ ආර්ථිකයකට පුරවැසියා හුරු විය යුතු බව සිරිමාවෝ බණ්ඩාරනායකගේ මතය විය. කෙසේ වෙතත් එම ප්‍රතිපත්තිය මහජනතාවට තිත්ත වූ අතර, 1977 මහමැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධනට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි වීමට එය හේතුවූ බව පිළිගත් මතයකි. පාර්ලිමේතුවේ සමස්ත ආසන 168න් ආසන 140ක් ම ජේ. ආර්.ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දිනා ගත් අතර, ආසන 20ක් හිමි වූයේ, දෙමළ ජාතික සන්ධානයට ය. එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායකට හිමි වූයේ ආසන 08ක් පමණි. සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් විපක්ෂ නායකත්වය ද ගිලිහී ගිය අතර, ඒ සඳහා සුදුසුකම් ලැබුවේ අමිර්තලිංගම් ය.

මැතිවරණයෙන් අනතුරු ව 1978 දී නව ව්‍යවස්ථාවක් බිහි වුණු අතර, ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථා අර්ථ නිරූපනයෙන් බලයට පත් විය. අනතුරුව මෙරට ආර්ථික බන්ධන ලිහිල් වූ බවට පැවසෙයි.

ව්‍යාපෘති සංස්කෘතියක ඇරඹුම සහ සංවර්ධනය

2009 වර්ෂය තෙක් මෙරට ජාතිවාදී හා බෙදුම්වාදී අරගලයක් පැවතිනි. ඉන්පසු පශ්චාත් යුද සමය ඇරඹි අතර, ශ්‍රී ලංකාව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ බරපතළ ලෙස බැලුම් හෙලන්නට විය.

විශේෂයෙන් දකුණු පළාත පදනම් කර ගත් විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් 2010න් පසු මෙරට ඇති වන්නට විය. මත්තල ගුවන්තොටුපොළ, මාගම්පුර වරාය, මෙසේ සිදු වූ ප්‍රමුඛතම ව්‍යාපෘති ලෙස ගිනිය හැකි ය. චීනය මැදිහත්ව සිදුකළ මෙම ව්‍යාපෘති හේතුවෙන් භූ දේශපාලනික වශයෙන්ද ගැටලු මතුවිය. චීනය දෙස සැමවිටම සැකයෙන් බලන ඉන්දියාව සහ අමෙරිකාව විවිධ අවස්ථාවල චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. 

මේ සියලු ව්‍යාපෘති සඳහා චීන ණය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර, ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ, ණය හරහා ණය ගෙවීමේ ශක්‍යතාවක් නොමැතිව එම ව්‍යාපෘති සිදුකළ බවය. මාගම්පුර වරාය මේ වනවිට වසර 99ක් සඳහා චීන සමාගමකට බදු දී ඇති අතර මත්තල ගුවන්තොටුපොළ වැනි ව්‍යාපෘති අදටත් මෙරට මහා ණය කන්ද ගෙවීම සඳහා දක්වන්නේ, අතිශය සුළු දායකත්වයකි. පාරවල් තැනීම ද මෙම ව්‍යාපෘති වැඩසටහන්වල ප්‍රධානම අංගයක් විය. මේවායින් ද සමහරුන් බරපතළ ලෙස කොමිස් ගැසූ බවට පුරවැසියෝ චෝදනා කරති. 

සිදුවිය යුත්තේ, ණයවලින් කළ ව්‍යාපෘතිවල ආයෝජන හා ලාබ තුළින් එම ණය ගෙවීමේ ක්‍රමයක් පාදා ගැනීම ය. නමුත් එවැන්නක් සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවට සිදුවූයේ ණය ගෙවීමට තවත් ණය ගැනීමටය.

බලාපොරොත්තු නොවූ වෙනස 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂට ඡන්ද ලක්ෂ 69ක් ලබා ගැනීමට 2019 වර්ෂයේ හැකියාව ලැබිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් බවට ඔහුගේ ආගමනය පත් විය. නමුත් ඔහුට මුහුණ දෙන්නට සිදුවූ අභියෝග අතිමහත්ය.

වසංගතයක් ලෙස කොවිඩ්-19 ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. 2020 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ද කොවිඩ් ග්‍රහණයට නතු වූ අතර, එය ලංකාවට දැරිය නො හැකි මට්ටමේ බලපෑමක් ඇති කරන්නට සමත් විය. කොවිඩ් ව්‍යාප්තිය ශ්‍රී ලංකාවට ආකාර කිහිපයකින් බලපෑම් එල්ල කළේ ය.

* විදෙස්ගත ප්‍රේෂණ වේගයෙන් පහළ යාම
* රට වසා දැමීම නිසා ජාතික ආදායම පහළ යාම
* අපනයන ආදායම් පහළ යාම
* ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් කොවිඩ් මර්දනය සඳහා භාවිත කරන්නට සිදුවීම

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සිටියේ, විධාරණය වන්නට ආසන්න වූ ගිනි කන්දක් ලෙසය. විදේශ ණය වාරික ගෙවීම දැඩි අභියෝගයක් වී තිබුණු අතර, ලබාගෙන තිබුණු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 55ක් පමණ බව සඳහන් විය.

කොවිඩ් වසංගතය ක්‍රමයෙන් පහව ගිය නමුත් පෙරළා දරුණු ආර්ථික අර්බුදයක් නිර්මාණය විය. විදේශ මුදල් සංචිත ශුන්‍ය වී ආනයනය බරපතළ අර්බුදයකට මුහුණ පෑවේ ය. ගෑස් ටැංකි පුපුරන්නට විය. මිනිස්සු මැරෙන්නට වූහ. දින ගණන් ගත වූ සැතපුම් ගණන් දිග වූ ඉන්ධන පෝලිම් ඇති විය. ඉන්ධන පෝලිම්වල පුරවැසියෝ දැඩි ලෙස අසරණ වූහ. පැය දහය, දොළහා ආදී වශයෙන් විදුලිය විසන්ධි විය. 

ඒ අතරම 2022 අප්‍රේල් මාසය වනවිට කොළඹ ගාලුමුවදොර පිටියේ දී අරගලය ඇරඹුණි. එසේම එම මාසයේදීම ශ්‍රී ලංකා බලධාරීන්, ශ්‍රී ලංකාවට ණය ගෙවිය නොහැකි බව නිල වශයෙන් නිවේදනය කළේය.

රටපුරා ඇති වෙමින් පැවතුණු අර්බුදකාරී වටපිටාව හමුවේ 2022 ජුලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් අස්විය. පාර්ලිමේන්තු ඡන්දයකින් පසු රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපති බවට පත් විය. ඒ, ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධුර කාලය සඳහා ය. 

දුකේ දී නොලැබුණු අත... 

ලංකාවේ ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණ පෑවේය. ගෙවීමට නියමිත ණය වාරික පැහැර හරින්නට ද අපට සිදුවිය. ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා කොතරම් සාකච්ඡා කළ ද ඊට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත. ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා සහාය නොදුන්න ද අයි.එම්.එෆ් ලද විගස තව තවත් ණය දීම සඳහා සමහර රාජ්‍යයන් එකඟතාව පළ කළේ ය. ණය දීමට එතරම් කැමැත්තකින් පසුවන රටවල්, ණය ප්‍රතිව්‍යූහගතකරණයට හෝ එකදු ඩොලරයක් වත් කපා දැමීමට හෝ වැඩි කැමැත්තක් පළ කළේ නැත. ශ්‍රී ලංකාව බංකොලොත් වීමට විදෙස් ණය කන්ද ද හේතු වූ බව නොරහසකි.

ඩොලර් උත්පාදනය සඳහා දායක වන ප්‍රමුඛතම පාර්ශ්වයන් ගේ ජන ජීවිතය තවමත් ඇත්තේ, එදා ලෙසටම ය. ‍රටට වැඩිම ඩොලර් ප්‍රමාණයක් රැගෙන එන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිත තවමත් සුඛිත මුදිත වී නැත. මැදපෙරදිග යන ඇතැම් ගැහැණුන් තවමත් ලංකාවට එන්නේ, ශරීරයේ පරාල ඇණ ගසාගෙනය. වතු සේවක නිවාස සඳහා තවම ස්ථිර ලිපිනයක් නැත. එම මිනිසුන්ගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය ශෝඛාන්තයකි. ඇඟලුම් සේවිකාවට තවමත් සමාජ ගෞරවයක් නැත. 

විද්වත් මතය...

මේ වනවිට රට බංකොලොත් කළේ කවුදැයි සොයන්නට කමිටුවක් පත් කර ඇත. එම කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පැවසුවේ, "ඇත්තටම අපි පත් කරන්න කිවුවේ ස්වාධීන කමිටුවක්. රට බංකොලොත් කළා කියන චෝදනාවම තියන අයව රට බංකොලොත් කරපු අය හොයන කමිටුවට දාලා තියනවා. ඒ නිසා ඒක තේරුමක් නැති වැඩක්. බංකොලොත් කියන එකෙත් මම කොටස් දෙකක් දකිනවා. නිදහස ලබපු දවසෙ ඉඳං හිටපු හැම පාලකයෙක්ම මේ බංකොලොත්කමට අඩු-වැඩි වශයෙන් වග කියන්න ඕනේ. හැබැයි 2019 ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනාපු වැරදි ප්‍රතිපත්ති නිසා ඒ බංකොලොත් වීම ඉක්මන් වුණා. 77 විවෘත ආර්ථිකය මේකට ගොඩක් බලපෑවා. විදේශ ශ්‍රමිකයන්ගේ ආදායමෙන් විතරක් රටක් කරන්න බෑ. මැද පෙරදිග වැඩ කරන කාන්තාවන්ගේ සල්ලිවලින් විතරක් ලංකාවට දුවන්න බෑ. අපි හිටියේ එදා වේල ටුවර්ස් ආර්ථික ක්‍රමයක් ඇතුළේ. ඒ ක්‍රමය ඇතුළේ කොහොමත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒත් මේ අර්බුදය තව අවුරුදු 10කින් විතර ඇති වෙන්න තිබුණ එකක්. ගෝඨාභය ඒක ඉක්මන් කළා. ගෝඨාභය මේ අර්බුදය අවුරුදු 10ක් ඉක්මන් කළා. ඕක තමා මට කරන්න තියන සරල ම පැහැදිලි කිරීම", යනුවෙනි.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය කල්ප රාජපක්ෂ දැරුවේ මෙවන් මතයකි. "ලංකාව බංකොලොත් වීමට පාර්ශ්ව කිහිපයක්ම වගකියන්න ඕනේ. අංක එකටම ඒකට වගකියන්න ඕනේ, මේ රටේ ඉන්න ආර්ථික විද්‍යාඥයෝ. ආර්ථික විද්‍යාව ගැන පර්‍යේෂණ කරන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුත් මේකට වගකියන්න ඕනේ. ඒගොල්ලෝ තමා ලංකාව වගේ රටකට නොගැලපෙන මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය අපේ රටවල්වල ස්ථාපිත කළේ. මහබැංකුව වගේ අයතනවල ප්‍රතිපත්ති නිර්මාණය වෙලා තියන විදියත් මේ බංකොලොත්භාවයට වග කියන්න ඕනේ. අනිත් පාර්ශ්වය තමා ලංකාවෙ ඉන්න ඉහළම ධනපති පන්තිය, බැංකු අයිතිකරුවන්. මේ අය අතර කොච්චර ඉන්නව ද ටැක්ස් වංචා කරපු අය. මෙච්චර බදු වංචා කළාම ඒක රටට කොච්චර බරක් ද? මේගොල්ලො ලාභ අරං තියෙන්නේ, භාණ්ඩ හුවමාරුවෙන්. මේ අයත් එක්ක කවදත් දේශපාලන හිතවාදින් ඉන්නවා. දේශපාලනය විසින් දිගින් දිගටම මේ අයට අනුග්‍රහය දක්වලා තියනවා". 

"අනිත් පාර්ශ්වය තමා මේ රටේ ඉන්න දේශපාලඥයන්. ඒ අය තමා අපේ රට බංකොලොත් වෙන්න අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කළේ. ජාතික සම්පත් විකුණන එක සාධාරණීකරණය කරන්න අවශ්‍ය මතය මිනිස්සුන්ගෙ ඔළුවල පැළ කළේ මේ අය. දේශපාලඥයා තමා පන්තිමය පදනමින් වංචාකාර ගජමිතුරු කල්ලිවලට අනුග්‍රහය දක්වන්නේ. මේ කල්ලියෙ අයව නීතියට අහුකරගන්න එකත් අමාරු වැඩක්. එක තැනකින් එහාට මේ අයගේ ක්‍රියාවන් ගැන හොයන්න බෑ. තොරතුරුවලට ප්‍රවේශ වෙන එක වළක්වලා"

ආචාර්ය කල්ප පවසන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ක්‍රියාවලිය සඳහා ආනයන සහ අපනයනකරුවන්ද සම්මාදම් වී ඇති බවය. "මේ අයගෙ විශාල ධනස්කන්ධයක් තියනවා ගිණුම්වල හංගං ඉන්න. 2012-2018 වෙනකං කරපු ආනයන අපනයන ආදායම් විතරක් තියෙනවා අමෙරිකානු ඩොලර් බිලියන 40ක් විතර. මේවා ගැන කවුරුත් හොයන්නේ නෑ. මොක ද මේක එක පන්තියක් එකතු වෙලා කරන වැඩක්".