අමෙරිකාවේ අනපේක්ෂිත යුද සහාය

අමෙරිකාවේ අනපේක්ෂිත යුද සහාය

July 10, 2023   03:00 pm

විශාල ප්‍රදේශයක පැතිරී මිනිස් ජීවිත සහ දේපලවලට හානි කරන ඉතා විනාශකාරී පොකුරු බෝම්බ භාවිතයෙන් ඉවත්වීමේ ජාත්‍යන්තර සම්මුතියක් 2008 වසරේ මැයි මාසයේ දිනක, අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී ඇති කරගනු ලැබීය.

මේ වනවිට ලොව රටවල් 110ක් ඊට එක්වී සිටියත් අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව හෝ යුක්‍රේනය ඊට අත්සන් තබා නැත.

කුඩා බෝම්බ් රැසකට බිඳීයමින් යුද්ධයේදී මෙන්ම ඉන් පසුවද දශක ගණනාවක් පැවතිය හැකි නිසා පොකුරු බෝම්බ භාවිතය ඇත්තෙන්ම මතභේදාත්මකය.

යුද්ධයෙන් පසුව වුවත් ඒවා සොයාගත නොහැකිවීමේ ප්‍රතිශතය සියයට 2 සිට සියයට 40 දක්වා වේ.

වියට්නාම යුද්ධයේදී අමෙරිකා වියට්නාමයේ පමණක් නොව ලාඕසයේ සහ කාම්බෝජයේ ඉලක්ක වෙත පොකුරු බෝම්බ එල්ල කළ බව වාර්තා වේ.

වියට්නාමයේ කුවැන්ග් - ට්‍රයි ප්‍රාන්තයේ පමණක් යුද්ධයෙන් පසු මෙම පොකුරු බෝම්බ කොටස් නිසා මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව 7000කට අධිකය.

CLUSTER BOMBS නැත්නම් පොකුරු බෝම්බ පිළිබඳ අප මෙතරම් අවධානය යොමු කළේ, යුක්‍රේන යුද්ධයේදී රුසියාවට එරෙහිව භාවිත කිරීම සඳහා පොකුරු බෝම්බ ලබාදීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කිරීම හේතුවෙනි.

අමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේනයට ලබාදෙන ඩොලර් මිලියන 800ක නවතම යුදාධාර පැකේජයට මෙම පොකුරු බෝම්බ තොගයද ඇතුළත්ය.

2022 වසරේ පෙබරවාරියේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ දා පටන් අමෙරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට ලබාදී ඇති යුදාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 40කට අධිකය.

අමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් රුසියාවට එරෙහි PROXY WAR  හෙවත් නිල නොවන යුද්ධයක් ක්‍රියාත්මක කරන බව රුසියාව පවසයි.

යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර මෙහෙයුම් කාල සීමාව තුළ මෙලෙස පොකුරු බෝම්බ ලබාදෙන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

එහෙත් එමඟින් දීර්ඝ කාලීනව සිවිල් වැසියන්ට සිදුවිය හැකි අනතුරු සහ විනාශය අතිමහත්ය.

තමන් විසින් ලබාදෙන පොකුරු බෝම්බ පරීක්ෂාකරීව භාවිත කිරීම සඳහා යුක්‍රේනය පොරොන්දුවී ඇති බව අමෙරිකාව පවසයි.

එහෙත් යුක්‍රේනය මෙතෙක් එලෙස පොරොන්දු ප්‍රකාරව කටයුතු කර ඇත්ද යන්න ගැටලුවකි.

මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කිරීමද එවැනි එක් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මේ නිසා තමන්ට අහිමිවූ යුක්‍රේන ප්‍රදේශ මුදාගැනීමට මිස රුසියානු භූමියේ පොකුරු බෝම්බ ප්‍රහාර දියත් නොකරන බවට යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොෆ් සිදුකර ඇති ප්‍රකාශයද සැක කටයුතුය.

රුසියාවට එරෙහි ප්‍රතිප්‍රහාර මෙහෙයුම සෙමෙන් ඉදිරියට ඇදෙන බව යුක්‍රේනය ප්‍රකාශ කළත් එහි සාර්ථකත්වය ඇතැම් බටහිර රටවල් විසින්ම ප්‍රශ්න කොට තිබේ.

ප්‍රතිප්‍රහාර මෙහෙයුම සඳහා යොදාගත හැකි කාලතුවක්කු උණ්ඩ අවසන් වෙමින් පවතින බවත්, එම සැපයුම් යථා තත්ත්වයට පත්කරන තුරු උණ්ඩවල හිඟය පියවීමට පොකුරු බෝම්බ ලබාදෙන බවත් අමෙරිකාව ප්‍රකාශ කළේය.

අමෙරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීම තුළින් යුක්‍රේන ප්‍රති ප්‍රහාර මෙහෙයුමේ දුර්වලතාව පැහැදිලි වන බව රුසියාව පවසයි.

රුසියානු ප්‍රහාර හමුවේ අමෙරිකාව කෙතරම් වික්ෂිප්ත වී ඇතිද යන්න එමඟින් පැහැදිලි වන බවත් එහෙත් එයින් සිය ප්‍රහාරක මෙහෙයුම්වලට බලපෑමක් සිදුනොවන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා ප්‍රකාශ කළේය.

මෙලෙස ඉවක් බවක් නොමැතිව විනාශකාරී අවි යුක්‍රේනයට ලබාදීමෙන් යුද්ධය හැකිතාක් කල් දිග්ගැස්වීමට අමෙරිකාව අපේක්ෂා කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමේ අමෙරිකානු තීරණයට ඇතැම් බටහිර සන්ධානයේ රටවල් විසින්ම විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.

යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීම සිදුනොකළ යුතු බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යවරිය මාගරීටා රොබ්ලස් ප්‍රකාශ කළාය.

යුක්‍රේනයේ ආරක්ෂාව සහාය විය යුතු වූවත්, පොකුරු බෝම්බ ඒ සඳහා යොදාගැනීම නීත්‍යනුකූල පියවරක් නොවන බව ඇය ප්‍රකාශ කළාය.

කැනඩාවද යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට සිය විරුද්ධත්වය පළ කළ අතර, ළමයින් ඇතුළු සිවිල් ජන කොටසට හානිකරන පොකුරු බෝම්බ යොදාගැනීමට තමන්ගේ සහායක් පළ නොවන බව කැනඩා රජය සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපද සන්ධානයේ සහායක රටක් වුවද ජර්මනියද එම පියවරට විරුද්ධතාවය පළ කළ ඇති අතර ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද යුක්‍රේන යුද්ධයේදී පොකුරු බෝම්බ යොදාගැනීමට විරුද්ධත්වය පළ කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් කියා සිටියේ යුද්ධයේදී පොකුරු බෝම්බ යොදාගැනීම බ්‍රිතාන්‍ය විසින් ප්‍රවර්ධනය නොකරන බවය.

ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී සාකච්ඡා කරනු ඇත.

යුරෝපීය රටවල් තුනක සංචාරයක් අරඹමින් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊයේ බ්‍රිතාන්‍යට පැමිණි අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙන්ම වින්ඩ්සර් මැදුරේදී චාල්ස් රජු ද මුණගැසීමට නියමිතය.

ලිතුවේනියාවේ විල්නියුස්හි හෙට සහ අනිද්දා පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවන අමෙරිකානු ජනාධිපතිවරයාගේ තුන්වැනි නැවතුම්පල වන්නේ ෆින්ලන්තයේ හෙල්ඩ්සින්කි නුවරය.

එහිදී ජනපති බයිඩ්න් නේටෝ සංවිධානයේ නවතම සාමාජික ෆින්ලන්තයේ මෙන්ම අනෙකුත් නෝර්ඩික් රටවල නායකයන් සමග සමුළුවකට එක්වේ.