රෝහල ගැන මුහුණුපොතේ ලියූ තරුණිය පොලීසියට

රෝහල ගැන මුහුණුපොතේ ලියූ තරුණිය පොලීසියට

July 9, 2023   09:07 pm

කළුතර නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී සිදුවූ මඟහැරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සටහනක් පළ කළ ගුරුවරියගෙන් පොලීසිය අද (09) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. 

මේ අතර එල්ලවන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් නාගොඩ රෝහල අද අවධාරණය කර සිටියේ හෘද රෝගියාගේ රෝගී තත්ත්වයට අදාළ කිසිදු තොරතුරු වසන් කිරීමක් හෝ වෛද්‍ය පරීක්ෂණවල කිසිදු අඩුපාඩුවක් සිදු වී නොමැති බවය.

මිල්ලනිය දැල්කඩ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් ගුරුවරියක් වන නිමේෂා මධුවන්තිගේ පියා  හෘදයාබාධ හඳුනාගැනීමට කරන angiogram පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත්ව තිබුණි.

එහෙත් එම පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් බව කියමින් තමන්ට දත්ත රහිත හිස් සංයුක්ත තැටියක් ලබාදුන් බවටත්, නිසි තොරතුරු ලබා නොදී රස්තියාදු කළ බවටත් ඇය චෝදනා කළේ ෆේස්බුක් සටහනක් තබමිනි.

ඉන් පසුව පොලිස් නිලධාරීන් ඇය සොයා නිවසට පැමිණ ඇත.

ඒ අනුව "අද දෙරණ" වාර්තා කට පුවතින් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා නිමේෂාගේ නිවසට ගොස් ගැටලුව විමසා බැලීය.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කරගැනීමට මන්ත්‍රීවරයා පියවර ගත්තේය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ නිමේෂාගේ පියාගේ හෘදයාබාධයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමටත්, ඇයට සහ පියාට යම් අගතියක් සිදු වී ඇතිනම් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් සහාය ලබාදීමට සූදානම් බවය.

මෙවන් පසුබිමක මේ සම්බන්ධව අද දෙරණ නාගොඩ රෝහලෙන් විමසීමක් කළේය.

එම රෝහල ප්‍රකාශ කළේ මිල්ලනිය දැල්කඩ පදිංචි අදාළ හෘද රෝගියාගේ රෝගී තත්ත්වය angiogram පරීක්ෂණයක් මගින් නිෂ්චය කර හඳුනාගැනීමෙන් පසු බයිපාස් සැත්කමක් සිදුකිරීමට නිර්දේශ කෙරුණු බවය.

එහෙත් නාගොඩ රෝහලේ බයිපාස් සැත්කම් සිදුනොකෙරෙන අතර එහි සිදුකෙරෙන්නේ ස්ටෙන්ට් දැමීම පමණි.

එබැවින් රෝහලේ වෛද්‍යවරුන් නියමිත වෛද්‍ය පරීක්ෂණ සිදුකර අදාළ රෝගියාට හෘද සැත්කමක් සඳහා උපදෙස් ලබා දෙමින් ඔහුව රෝහලෙන් පිටත් කර යැවූ අතර angiogram පරීක්ෂණයේ දත්ත ඇතුළත් සංයුක්ත තැටිය ලබාදුන් බව එම රෝහල පවසයි.

යම් තාක්ෂණික දෝෂයක් මත අදාළ සංයුක්ත තැටියේ දත්ත කියවාගත නොහැකි වුවද ඊට අදාළ රූපසටහන් ප්‍රතිකාවක් ද ලබාදී තිබූ බව රෝහල පවසයි.

නමුත් එම සංයුක්ත තැටියේ කිසිවක් ඇතුළත් නොකර හිස්ව පැවති බවට චෝදනා කරමින් එම රෝගියාගේ දියණිය ෆේස්බුක් සටහනක් තබා තිබුණි.

එම ෆේස්බුක් සටහනින් පසු නාගොඩ රෝහල ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බවත්, පොලීසිය ප්‍රකාශයක් ගැනීමට කාන්තාව කිහිපවරක්ම කැඳවූ නමුත් ඇය නොපැමිණි නිසා පසුව පොලීසිය ඇයගේ නිවසට ගොස් ඇති බවත් නාගොඩ රෝහල පවසයි.

හෘද රෝගියාගේ රෝගී තත්ත්වයට අදාළ කිසිදු තොරතුරු වසන් කිරීමක් හෝ වෛද්‍ය පරීක්ෂණවල කිසිදු අඩුපාඩුවක් සිදුනොවුණු බව ද එම රෝහල අවධාරණය කරයි.