හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින දෙයි

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින දෙයි

February 7, 2025   01:57 pm

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවූ හිටපු සුරාබදු කොමසාරිස් ඒම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (07)  කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසය. 

ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.

බලපත්‍රලාභී මත්පැන්හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය රජය සමයේ පවතින නීතියට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවය.

එම අතුරු තහනම් නියෝග උල්ලංඝනය කරමින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.