නායකත්ව පුහුණුවක් අතරතුර තරුණයෙක් මරුට

නායකත්ව පුහුණුවක් අතරතුර තරුණයෙක් මරුට

July 9, 2023   08:06 pm

නායකත්ව පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වී තිබේ.

හදිසි අනතුරකින් මෙලෙස අකාලයේ දිවි අත්හැර යන්නේ යසින්ත ක්‍රිශාන් නම් 28 හැවිරිදි තරුණයෙකි.

දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු පෞද්ගලික දුරකථන සමාගමක ඉංජිනේරු අංශයේ සේවය කර තිබුණි.

එම ආයතනයේ යසින්ත ද ඇතුළු පිරිසක් ඌව කුඩාඔය කමාන්ඩෝ කඳවුරේ නායකත්ව පුහුණුවක් සඳහා පසුගිය 6 වනදා සහභාගී වී ඇත.

එම පිරිස එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සඳහා ද එක්ව තිබුණි.

කේබල් මතින් ගමන් කිරීමේ ක්‍රියාකාරකමකට යසින්ත ද එක්වන්නේ ඒ අනුවය.

16 දෙනෙකු කේබල් මතින් ඒ කොණ සිට මේ කොණට පැමිණියත් 17 වැනියා වූ යසින්තට ක්‍රියාකාරකම නිමා කරන්නට හැකිවන්නේ නැත.

ප්‍රධාන රැහැන එක් පසෙකින් බිඳී ගොස් යසින්ත ජලයට ඇදවැටෙන්නේ නිමේෂයකිනි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ තරුණයා ජලයට වැටීමත් සමග එහි මඩ කැලතීම නිසා ඔහු සොයාගැනීමට විනාඩි 3ක් 4ක් පමණ ගතවී ඇති බවය. 

තණමල්විල රෝහලට තරුණයාව ඉක්මනින් ඇතුළත් කළ ද ඔහු ඒ වනවිටත් ජීවිතයෙන් සමුගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

යසින්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදුකළේය.

පුද්ගල කුසලතා වර්ධනය කිරීමට පැවැත්වෙන මෙවැනි නායකත්ව පුහුණුවීම් ලොවපුරා දක්නට හැකි සුලබ දසුනකි.

අතිශය වගකීම්සහගත ක්‍රියාවලියක් තුළ මෙවැනි අනතුරක් සිදුවන්නේ කෙසේද?

එහි වගකීම පැවරෙන්නේ කාටද?

යසින්තට සමුදෙන්න පැමිණි සියලුමදෙනා නගන ප්‍රශ්නය එයයි.