මැණික් ගනුදෙනුවේ මුදල් වංචා කළ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගනී

මැණික් ගනුදෙනුවේ මුදල් වංචා කළ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගනී

July 4, 2023   04:32 pm

රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් නිල් මැණික් ගල් 10ක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදුන් බව කියන මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් සිදුකරන ලද පැමිණිලි දෙකකට අදාළව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ව්‍යාපාරිකයා මීට මාස 10කට පමණ ඉහතදී පැමිණිලිකාර බේරුවල ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 33 ලක්ෂ 13,000ක් වටිනා නිල් මැණික් ගල් 09ක් ලබාගෙන ඒ වෙනුවෙන් චෙක්පත් ලබාදී තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එලෙසම එම ප්‍රදේශයේම තවත් මැණික් ව්‍යාපාරිකයකුගෙන්  රුපියල් 13 ලක්ෂ 50,000ක් වටිනා නිල් මැණිකක් ලබාගෙන ඒ වෙනුවෙන් ද චෙක්පත් ලබාදී තිබු බව පොලීසිය කියයි.

සැකකාර ව්‍යාපාරිකයා මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනාටම ලබාදී තිබූ චෙක්පත් 8ක් එම ව්‍යාපාරිකයින් විසින් බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒව අගරු චෙක්පත් බවට අනාවරණයවී තිබේ.

මැණික් ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධව සැකකරුව දැනුවත් කර තිබූ අතර මුදල්  ලබාදීමට කිසිදු උත්සාහයක් නොගත් බැවින් පොලීසියට පැමිණිලි කර තිබුණි.

අදාළ පැමිණිල්ල අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය ජා-ඇළ ඒකල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයාව පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.