
තෙල්දෙණිය කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අංගනයකින් සොරාගෙන තිබූ ඩිෆෙන්ඩර් ඇතුළු සුඛෝපභෝගී වාහන 4ක් සොයාගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් ඇතුළුව සැකකරුවන් සිව්දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය කෙන්ගල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයකට ඊයේ (29) අළුයම පස් දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් කඩා වැදී තිබුණි.
එම අවස්ථාවේ වාහන අංගනයේ සිටි සේවකයින් දෙදෙනා බැඳ දමා එහි තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් රැගෙන ගොස් තිබුණි.
ඒ, ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ 3 ක් සහ සුඛෝපභෝගී වෑන් රථයකි.
පොලීසිය පවසන්නේ, එම වාහනවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 770 කට අධික බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වත්තේගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණේ, වාහන අංගනයේ සිට කිලෝමීටර 18ක් පමණ දුරින් වූ ප්‍රදේශයකය.
ඒ අනුව වත්තේගම, දොරගමුව, සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස ඇති ගරාජයක තිබී සොරාගන්නා ලද ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ 2 ක් සොයාගෙන තිබේ.
එහිදී වාහන සොරකම සඳහා පැමිණි කැබ් රථයක් සමග සැකකරුවන් තිදෙනකු එහිදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වු එම සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකි.
අදාළ ජීප් රථ දෙක ගාල් කර තිබී ඇත්තේ එම මන්ත්‍රී පුත්‍රයාගේ නිවස පිටුපස ගරාජයකය.
මේ අතර තෙල්දෙණිය පොලීසිය අනෙක් ඩිෆෙන්ඩරය සොයා ගනු ලැබුවේ, නිට්ටඹුව, පන්නිල ප්‍රදේශයේදීය.
එයද කොටස් කිරීමට සූදානම් කර තිබුණි.
සොරාගත් ඩිෆෙන්ඩරය රැගෙන ගොස් තිබුණේ ලොරි රථයක පටවාගෙනය.
මෙම රථය සොරාගැනීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු 28 හැවිරිදි වියේ පසුවන වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොල්ලකෑමට ලක්වූ සුඛෝපභෝගී වෑන් රථය පොල්ගොල්ල ජලාශයට යන මාර්ගයේ දමා ගොස් තිබියදී පොලීසිය අද සොයාගනු ලැබීය.

















































