
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය ඊයේ (07)ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.
එහි දෙවැනි දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරුණු පිටු 16කින් සමන්විත මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ යාවත්කාලීන වාර්තාව ඉදිරිපත් කෙරුණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගුකාලීනව රඳවා සිටින පිරිස මුදාහැරීම, හමුදාව යටතේ ඇති උතුරු - නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සහ අධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය, ධුරයේ ස්ථාවරත්වය සහ අධිකරණයේ සංයුතිය දේශපාලන බලපෑමකින් තොරව පවත්වාගෙන යාම ආදිය එහි නිර්දේශ අතරට ඇතුළත් වේ.
මෙම වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස් ආවා ඩාබෝ මහත්මිය එම සැසියේදී මෙලෙස අදහස් දැක්වූවාය.
“ශ්‍රී ලංකාව බරපතළ ගැටලු රැසකට මුහුණ දුන්නා. එහි ප්‍රධානම දේ රට මුහුණපා ඇති ණය බර 2026 අයවැයට අනුව රජයේ ආදායමෙන් 82%ක් වෙන්කර ඇත්තේ ණය ගෙවන්න. එය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා යොදවන මුළු මුදල මෙන් දෙගුණයක්. එය මානව හිමිකම් ගැටලුවක්. රටට කඩිනමින් සංවර්ධන සහාය අවශ්‍යයි. වෙනසක් සඳහා මීට වසර දෙකකට පෙර උදාවූ අවස්ථාව තවමත් පවතිනවා. සැබෑ වගකීමක් සහ ජාතික සංහිඳියාවක් වෙනුවෙන් වූ සිදුකරන නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා සහායවීමට අපේ කාර්යාලය ඕනෑම මොහොතක සූදානම්.”
අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අද දිනම ප්‍රතිචාර දක්වනු ලැබීය.
ඒ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා විසිනි.
"බාහිර සාක්ෂි සෙවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. ගිය වසර තුළ සංහිඳියාව සහ මානව හිමිකම් සහතික කිරීමට රජය විවිධ පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන් සහ අනෙක් අන්තර්ජාතික පාර්ශ්වවල උපදෙස් ද ලබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට නව පනතක් ගැසට් කරලා එය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාර්ගස්ථ සුරක්ෂිතතා පනතේ සංශෝධන සිදුකර අවසන්. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සහයෝගීතා සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මකයි. පවතින සත්‍ය සහ සංහිඳියා කොමිසමේ ක්‍රියාවලියත් සංශෝධනයට ලක්කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ නායකත්වයෙන් යුතුව ස්වාධීන නීතිපති කාර්යාලයක් ඇති කිරීමට උත්සාහය කරමින් ඉන්නවා. ඉඩම් නිදහස් කිරීම, තක්සේරුව සහ වන්දිගෙවීම ගැන අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත්කර තිබෙනවා. අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යාම, සහ නීති ප්‍රවේශය පහසු කිරීමට රජය බැඳී සිටිනවා. සියලු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නවතම නීති ප්‍රතිපාදන ගේන්නේ අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදවීම වැළැක්වීමටයි."
මේ සම්බන්ධව ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රතිචාරය පහතින්,

















































