රට රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම උකුස්සා හෙළිකරයි
June 24, 2023 08:00 pm
දකුණු කොරියාව හා ජපානය ඇතුළු රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් නීතිවිරෝධී අයුරින් මුදල් ලබාගත් පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැණුනි.
උකුස්සාගේ අද (24) අනාවරණය ඒ පිළිබඳවය.
කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක පුද්ගලයෙකු විසින් නීතිවිරෝධී අයුරින් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල්ගරන ජාවාරමක් සිදුකරන බවට එලෙස තොරතුරු අනාවරණ විය.
ඒ අනුව, අදාළ තොරතුර තහවුරු කරගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයයේ නිලධාරීන් සමග එක්වී "අද දෙරණ උකුස්සා" අදාළ ස්ථානය වෙත පැමිණියේය.
එහි සිටි කාන්තාවක් ඔහුන් සතුව ඇති විදෙස් රැකියා පිළිබඳව සැකයක් නොසිතෙන අයුරින් කරුණු පැහැදිලි කර තිබුණි.
ඒ අනුව, ජාවාරම සම්බන්ධයෙන් තහවුරු කරගැනීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් එම ස්ථානය වටලනු ලැබීය.
කෙසේවෙතත් ඊට සුළු මොහොතකට පෙර එහි සිටි හිමිකරු අදාළ ස්ථානයෙන් පිටවී ගොස් තිබුණි.
පසුව ඔහුට පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු නොපැමිණ නීතීඥවරයෙකු අදාළ ස්ථානයට එවා තිබුණි.
කෙසේවෙතත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ටික වේලාවකට පසුව අදාළ පුද්ගලයා එම ස්ථානයට පැමිණ අතර එහිදී ඔහු තමන් කළ වරද පිළිගත්තේය.
මේ අතර අදාළ පුද්ගලයාගේ මෝටර් රථය පරීක්ෂා කළ අවස්ථාවේදී දැකගත හැකිවුයේ රාජ්‍ය ලාංඡනය ව්‍යාජ ලෙස භාවිත කර ඇති බවය.
එමෙන්ම අදාළ ස්ථානයේ තිබී විදෙස් ගමන් බලපත්‍ර, ඇතුළු ලියකියවිලි තොගයක් ද සොයාගැනීමට හැකිවිය.
අනතුරුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේය.
ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට "අද දෙරණ උකුස්සා" සීරුවෙනි.