චීන මිත්‍රතා සංගමයේ දූත පිරිස විදේශ අමාත්‍යවරයා හමුවෙයි

චීන මිත්‍රතා සංගමයේ දූත පිරිස විදේශ අමාත්‍යවරයා හමුවෙයි

December 12, 2025   05:04 pm

ශ්‍රී ලංකාවේ සංචාරයක පැමිණ සිටින විදේශ රටවල් සමඟ මිත්‍රතා චීන මහජන සංගමයේ (CPAFFC) සභාපති ගරු Yang Wanming මහතා ඇතුළු දූත පිරිස අද (12) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළේය.

සෑම විටම ශ්‍රී ලංකාවට නෙැපැකිලිව ආර්ථික හා සංස්කෘති යන අංශවලින් උදව් කිරීමට චීන ඇප කැප වී සිටින බව පැවසීමට තම දූත කණ්ඩායම අමාත්‍යවරයා මුණගැසීමට පැමිණි බව Yang Wanming මහතා පැවසුවේ ය. 

වසර 2000කට අධික කාලයක මිත්‍රත්වයක් සහිත රටවල් වශයෙන් ශ්‍රී ලංකාවේ අසීරු කාලවලදීත් ශ්‍රී ලංකාව සමඟ සිටින බව පැවසූ ඒ මහතා නව රජය පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයකට පැමිණීම රටවල් දෙක අතර පවතින මිත්‍රත්වය මැනවින් පෙන්නුම් කරන බව ද කියා සිටියේය.

දැනට ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජනවලට අමතරව තවත් චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.

විපතට පත් වූවන් සඳහා CPAFFC මගින් RMB 580000ක් ප්‍රදාන කිරීම පිළිබඳව ස්තූතිය පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා චීන ජනරජය ශ්‍රී ලංකාවට ලද සෑම විටම ආධාර කිරීමට ඉදිරිපත් වීම ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් බව ද ආපදා ඇති වූ සෑම විටම චීන රජය ලබා දුන් සහයෝගීතාව අගය කරන බව ද කියා සිටියේය.

දිට්වා සුළු කුණාටුවත් සමඟ ඇති වූ අයහත් කාලගුණයෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ හදිසි සහන සේවා සඳහා චීනය ලබා දුන් සහාය පිළිබඳවත් චීන දූත පිරිසට, අමාත්‍යවරයා විසින් විශේෂ ස්තූතියක් පළ කළේ ය.

මීට අමතරව ඉදිරි කාලයේ දී හානියට පත් වූ ප්‍රදේශවල පාරවල්, පාලම්, දුම්රිය මාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීමට ද චීන රජය සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ය.