කුමාර් ගුණරත්නම්ගේ පෙත්සම විභාගයට අවසර

කුමාර් ගුණරත්නම්ගේ පෙත්සම විභාගයට අවසර

June 22, 2023   03:55 pm

අමෙරිකාවේ කළු ජාතිකයින්ට සිදුවන හිරිහැර හෙළාදකිමින් කොළඹ පැවැති උද්ඝෝෂණයක් සඳහා රැස් වූ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවාගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

මෙම පෙත්සම් වලට අදාළව කරුණු සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

ඒ අනුව පෙත්සම ජනවාරි මස 13 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය දින නියම කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, නීතිඥ නුවන් බෝපගේ, දුමින්ද නාගමුව, අලුත්විල චන්ද්‍රජෝති  හිමියන් ඇතුළු හතලිස් හත් දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.