කාන්තාවන් රවටා මුදල් ඉපැයූ පුද්ගලයාව කොටුකරගත් උකුස්සාගේ මෙහෙයුම

කාන්තාවන් රවටා මුදල් ඉපැයූ පුද්ගලයාව කොටුකරගත් උකුස්සාගේ මෙහෙයුම

June 9, 2023   07:43 pm

විදෙස් රැකියා ලබාදෙන බවට කාන්තාවන් රවටා වංචනික ලෙස මුදල් ඉපැයූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් "අද දෙරණ උකුස්සා" ඊයේ (08) රට හමුවේ අනාවරණ කළේය.

උකුස්සාගේ අද අනාවරණය සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳවය.

එම සැකකරු "බලපත්‍ර සහිත" විදේශ රැකියා ආයතනයක නම භාවිත කරමින් කාන්තාවන් රවටා මුදල් ජාවාරම් කරන පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන තිබුණි.

අප එහිදී උපායදූතයෙකු ලබා ජාවාරම්කරුට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී ඔහු පැවසුවේ, විදෙස්ගතවීමට පෙර, ගාල්ල රත්ගම ප්‍රදේශයේ පිහිටි දේවාලයකට පැමිණ ශාන්තිකර්මයක් සිදුකරගත යුතු බවය.

ඒ අනුව ජාවාරම්කරු සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව, ඔහුව නීතියේ රැහැනට හසුකරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය සැලසුමක් දියත් කරන්නේ රත්ගම පොලීසිය ද ඊට එක්කරගනිමිනි.

අනතුරුව අප උපායදූතියන් පිරිසක් සමගින් ගාල්ල රත්ගම ප්‍රදේශයට ගියේය.

ඒ අනුව උපායදූතියන් එහි රැඳීසිටින විට ජාවාරම්කරු ත්‍රිරෝද රථයකින් පැමිණ එම පිරිස එහි නංවා එම දේවාලයට යන අයුරු දැකගත හැකි විය.

අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ජාවාරම්කරුගේ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගියේය.

අනතුරුව ඔහු උපායදූතියන් පිරිස රත්ගම පිහිටි දේවාලයක් වෙත රැගෙන ආවේය.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත්තේය.

සැකකරුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.