රෝයල් පාක් සිද්ධියේ නඩුවට අධිකරණය දුන් නියෝගය
June 9, 2023 04:53 pm
මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයින් 70 දෙනකුගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට අදාළව ඔවුන්ට මරණ දඬුවම ලබාදීම සඳහා එල්ලවී තිබූ චෝදනා කුමක්දැයි සොයා බලා අධිකරණයට දැනුම්දෙන ලෙස විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විවෘත අධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දැනුම්දී තිබේ.
රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියට මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්රදානය කර නිදහස් කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයකට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී තිබේ.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ ඇමතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
ජනාධිපති සමාව ප්රදානය කර නිදහස් කිරීමට පෙර ජූඩ් ශ්රමන්ත ජයමහ ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි පුද්ගලයින් 70 දෙනකුගේ මරණීය දණ්ඩනය, ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට එවක ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුනි.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අඩු කිරීම සඳහා මරණීය දණ්ඩනය නියම වූවන් අතුරින් විත්තිකරුවන් 70 දෙනෙකු තෝරා ගත්තේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා එහි පාරදෘශ්‍යභාවය බරපතළ ගැටලුවකට තුඩු දී තිබෙන බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා කියා සිටියේ එසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අඩු කෙරුණු පුද්ගලයින් අතර මිනීමැරුම් පමණක් නොව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් ද සිටිය හැකි බවය.
මේ අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්රදානය කර නිදහස් කිරීමේ දී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වුණි.
අදාළ විත්තිකරුට ප්රදානය කර තිබෙන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී එක් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යම් වරදකරුවෙකුට සමාවදීමට පෙර ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, දඬුවම් නියම කළ අධිකරණයේ විනිසුරු වරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවන් කැඳවීම අත්‍යවශ්‍ය බවය.
එහෙත් මෙම විත්තිකරුට සමාව ප්රදානය කිරීමට පෙර එවක ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යවරයාගෙන් සහ අදාළ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන වලට පටහැනි තත්ත්වයක් බවට ඔහු චෝදනා කළේය.
ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇත්තේ ඔහුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට නොහැකි බවට ජනාධිපති නීති ලේකම් විසින් දැනුම් දී තිබියදී බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය