මුහුද ගැන අනතුරු අඟවයි
June 8, 2023 01:34 pm
මිනිසාට සාගරයේ වැදගත්කම සිහිගැන්වීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ.
මෙවර සාගර දිනයේ තේමාව 'සාගර ලෝකය - රළ පහර වෙනස් වෙමින්' යන්නය.
අපේ ජීවිතවලට සාගර මගින් ඉටුවන කාර්යය හඳුනාගෙන සාගරය සුරකින ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සාගර දිනයේදී සිදුවෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි අප ආශ්වාස කරන ඔක්සිජන් වායුවෙන් 50%ක් පමණ නිපදවනු ලබන්නේ සාගරය මගිනි.
එමෙන්ම 2030 වසර වනවිට ලෝකවාසීන් මිලියන 40ක් පමණ සාගරය හා සම්බන්ධ ජීවිකාවන්හි නිරත වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත.
මිනිසා විසින් නිපදවනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් 30%ක් පමණ සාගරය මගින් අවශෝෂණය කරනු ලබන්නේ ගෝලීය උණුසුම යම් අයුරකින් පාලනය කරමිනි.
සාගරය පෘථිවියේ පෙනහළු ලෙසත් ආහාර හා ඖෂධවල ප්‍රධාන මූලාශ්‍රයක් මෙන්ම ජෛවගෝලයේ ඉතා වැදගත් කොටසක් ලෙස ජගත් සංවිධානය පෙන්වා දෙයි.
ලෝක සාගරය දිනය වෙනුවෙන් පවත්වන මෙරට ජාතික උත්සවය අද මාතර දී පැවැත්වුණි.
මේ අතර ප්ලාස්ටික් සහ පොලිතීන් මගින් සාගරයට සහ පරිසරයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය මගින් ඊයේ පැවැත්වීය.
එහිදී අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා,
"මුහුදට එන ප්ලාස්ටික්වලින් 30%ක් තමයි පාවෙන්නේ ඉතිරි 70% මුහුදු පතුලට බහිනවා. මුහුදේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමටත් ඒක බලපානවා. වායුගෝලයේ මේ තියෙන ඔක්සිජන්වලින් 50%ක් 80%ක් විතර එන්නේ මුහුදෙන්. මුහුදෙන් එන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හරහා පෘථීවිය අපිට ජීවත්වෙන්න බැරි තැනක් බවට ක්‍රමක්‍රමයෙන් පත්වීගෙන යනවා."