නිවෙස්වලට පැන මුදල් කොල්ලකෑ හිටපු ප්‍රබල ඇමතිගේ හිටපු රියදුරා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

නිවෙස්වලට පැන මුදල් කොල්ලකෑ හිටපු ප්‍රබල ඇමතිගේ හිටපු රියදුරා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

June 6, 2023   10:42 am

කහතුඩුව පොල්ගස්ඕවිට නිවසකට පොලිස් නිලධාරින් බව පවසා කඩාවැදී නිවෙස්හිමියා ග්‍රහණයට ගෙන රුපියල් 160,000ක මුදලක් කොල්ලකා අනතුරුව එම පුද්ගලයාව මොරටුවට රැගෙනගොස් තවත් රුපියල් 300,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන්ව වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පැවසීය. 

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අතර හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ හිටපු රියදුරෙක් සිටින බවත් අනෙක් පුද්ගලයා පතල් කර්මාන්තයේ යෙදුණු අයෙක් බවද පොලීසිය සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට රත්මලාන ගල්කිස්ස ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පදිංචිව සිට අනතුරුව කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචියට පැමිණ ව්‍යාපාර කටයුතුවල යෙදුණු  පුද්ගලයෙකුගේ නිවසට පොලිස් නිලධාරීන් වෙසින් පැමිණ තිබූ පස් දෙනකු ගෙන් යුත් පිරිසක් කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

2021 අප්‍රේල් 8 වනදා එම කල්ලිය නිවස තුළට කඩාවැදී හොරයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරුණු විමසා අනතුරුව නිවස පරික්ෂා කරන මුවාවෙන් එහි තිබූ රුපියල් 160,000ක මුදලක් කොල්ලකා අනතුරුව එම පුද්ගලයාගෙන් තවත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා එම පුද්ගලයාට අයත් වෑන් රථයෙන් ඔහුව මොරටුවට රැගෙනගොස් ඔහුගේ සහෝදරයකු මාර්ගයෙන් රුපියල් 300,000ක මුදලක් ලබාගෙන ඔහුව අත්හැර පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

එම කල්ලියේ එලෙස පිටව යන අවස්ථාවේදී ගිණුම් අංකයක් ලබාදී ඉතිරි මුදල් බැරකරන ලෙසද දැනුම් දී තිබිණි.

කොල්ලකෑම සම්බන්ධයෙන් එම පුද්ගලයා විසින් එම දිනවල කහතුඩුව පොලීසියට සහ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුනොකළ බව පවසමින් ඔහු පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත යොමුකිරීමෙන් අනතුරුව ඒකක 3 මගින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම කොල්ලකෑම සඳහා දැනට සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන්  කිහිපදෙනෙකුගේ සහාය ද ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බුලත්සිංහල සහ අයගම පදිංචිකරුවන්ය.