තවත් තරුණ ජීවිත දෙකක් දිය රකුසාට බිලිවෙයි

තවත් තරුණ ජීවිත දෙකක් දිය රකුසාට බිලිවෙයි

June 4, 2023   03:46 pm

දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ වැවේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරාදුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17,19 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් තවත් 50 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමඟ හබරාදුව ප්‍රදේශයේ සිට බස් රථයකින් එහි පැමිණ ඇත.

අනතුරුව තරුණයින් දෙදෙනා තවත් කිහිපදෙනෙකු සමඟ වැවට බැස දිය නාමින් සිටියදී ඔවුන් දෙදෙනා මෙලෙස දියේ ගිලී තිබේ.

අනතුරුව එම පිරිස උදව් ඉල්ලා කෑ ගැසීමත් සමඟ එහි පැමිණි ප්‍රදේශවාසීන් එක්ව තරුණයින් ගොඩට ගෙන රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යාමේදී එම තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මෘත ශරීර රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙවර පොසොන් වන්දනා සමය ආරම්භයේදීම මෙවැනි ගමන් බිමන් යාමේදී ජලාශ ආශ්‍රිතව සිදුවිය හැකි මෙවැනි අවාසනාවන්ත අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම ජනතාව දැනුවත් කරන ලදී.