චොක්ලට්වලින් කළ ජාවාරම උකුස්සා ට හසුවෙයි

චොක්ලට්වලින් කළ ජාවාරම උකුස්සා ට හසුවෙයි

May 20, 2023   08:07 pm

තීරුබදු නෙගෙවා නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කළ චොක්ලට් ඇතුළු රසකැවිලි අලෙවි කරන වෙළෙඳසැලක් නීතියේ රැහැනට හසුකර දීමට "අද දෙරණ උකුස්සාට" හැකිවුණි.

උකුස්සාගේ අද (20) අනාවරණය ඒ පිළිබඳවය.

විදෙස් රටවලින් ආනයනය කරන ලද චොක්ලට් ඇතුළු රසකැවිලි නීතිවිරෝධී අයුරින් කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ රසකැවිලි වෙළෙඳසැලක අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව, පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් සමග අද දෙරණ උකුස්සා ඒ පිළිබඳව ගවේෂණයක නිරත වුණි.

ඒ අනුව උකුස්සා එම නිලධාරීන් සමග පළමුව අදාළ ස්ථානයට යන්නේ විදෙස් රටවලින් ආනයනය කළ බවට පැවසෙන චොක්ලට් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමිනි.

එහිදී උකුස්සාට අනාවරණ වුණේ සඳහන් මිලට වඩා වැඩි මිලට මෙහි රසකැවිලි අලෙවි කරන බවය.

අනතුරුව පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් පැමිණ අදාළ වෙළෙඳසැල වටලනු ලැබීය.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එහිදී කළ සොයා බැලීමේදි අනාවරණ වුණේ මෙලෙස අලෙවි කරන චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ගවල සඳහන් කළ යුතු කිසිඳු තොරතුරක් සඳහන්ව නොමැති අයුරුය.

සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී අදාළ වෙළෙඳසැලේ හිමිකරු යැයි පැවසු පුද්ගලයා අනාවරණ කළේ තමාගේ සහෝදරයෙකුට මෙම වෙළෙඳසැලේ සැබෑ හිමිකාරීත්වය ඇති බවය.

අනතුරුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් නීතීවිරෝධී අයුරින් මෙරටට තීරුබදු නොගෙවා ගෙන්වූ චොක්ලට් අතුළු රසකැවිලි තොගය මුද්‍රාතැබනු ලැබීය.