ගුවන් යානයේ බෝම්බයක් නොමැති බවට තහවුරු වෙයි

ගුවන් යානයේ බෝම්බයක් නොමැති බවට තහවුරු වෙයි

October 19, 2024   06:39 pm

බෝම්බ බියක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදුකළ ඉන්දීය විස්ටාරා ගුවන් යානයේ සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බවය.

යානය කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථයේ කෙළවර පිහිටි විශේෂ ස්ථානයක රඳවා කඩිනමින් ගුවන් මගීන් 96 දෙනා සහ එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් පිටතට ගනු ලැබීය.

ඒත් සමඟින් යානය කඩිනමින් සෝදිසි කළ කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පසුව තහවුරු කරනු ලැබුවේ පුපුරණ ද්‍රව්‍ය  කිසිවක් එම ගුවන් යානය තුළින් හමුනොවූ බවය. 

ඉන් අනතුරුව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමද අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ විස්ටාරා ගුවන් යානයේ වාර්තා වූ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බවය.

ඉන්දීය විස්ටාරා ගුවන් සේවයේ යූ.කේ. 131 දරන ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි සිට අද පස්වරු 12.25ට කටුනායක ගුවන් තොටුපොළ බලා පියාසර කෙරුණි. 

එයාර් බස් A 320 වර්ගයේ ගුවන් යානයක් වූ මෙහි මගීන් 96 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකු සිට තිබුණි.

එම ගුවන් යානය මෙරටට බලා පැමිණෙමින් තිබෙන අතරවාරයේ විස්ටාරා ගුවන් සේවයේ මූලස්ථාන කාර්යාලයට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

එම ඇමතුමෙන් දන්වා තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවය.

එම තර්ජනය සම්බන්ධයෙන් ගුවන් යානය හිමි මූලස්ථානය මෙරට  බලධාරීන් දැනුම්වත් කිරීමත් සමග කටුනායක ගුවන් තොටුපොළේ බෝම්බ නිශ්ක්‍රීය අංශය, ගුවන් සහ යුධ හමුදා කොමාන්ඩෝ භටයන්, වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩල, ගිලන් රථ, ගිනි නිවීම් රථ, හදිසි ගලවා ගැනීමේ කාර්යය මණ්ඩල සූදානම් කර තිබුණි. 

ගුවන් යානය පස්වරු 3 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණත් එය පස්වරු 02.51ට කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුණි. 

මේ අතර ඉන්දීය ගුවන් සේවාවලට අයත් ගුවන් යානාවල බෝම්බ ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අනතුරු ඇඟවීම් හමුවේ ගුවන්යානා හදිසියේ ගොඩබෑම සම්බන්ධ පුවත් ගෙවුණු දින කිහිපය පුරා නිරන්තරයෙන් වාර්තා වුණි.

මෙම සතිය ආරම්භයේ සිට එවැනි අනතුරු ඇඟවීම්වලට යටත්වී හදිසි ගොඩබෑම් සිදුකළ ඉන්දීය ගුවන් යානා සංඛ්‍යාව 50කට ආසන්නය.

ඒ අනුව පසුගියදා ඉන්දියාවේ දිල්ලි සිට අමෙරිකාවේ චිකාගෝ වෙත පියාසර කරමින් පැවති එයාර් ඉන්ඩියා සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක්, හදිසියේ කැනඩාවට ගොඩබස්වා තිබුණි.

ඉන්දියාවේ මුම්බායි සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පියාසර කරමින් පැවති එයාර් ඉන්ඩියා ගුවන් යානයක් ආපසු නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබැස්සවීම තවත් එවන් පුවතකි.

කෙසේ වුවද මෙලෙස ගුවන් යානාවල බෝම්බ ඇතැයි පළවූ සියලුම අනතුරු ඇඟවීම් සාවද්‍ය අනතුරු ඇඟවීම් බව පසුව අනාවරණ විය.