රෝහලේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි

රෝහලේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි

May 17, 2023   03:26 pm

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා බොරැල්ල, වෙස්ටර්න්  රෝහලට ලබාදී තිබු අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස එම රෝහල වෙනුවෙන් කර තිබෙන ඉල්ලීමට විරුද්ධ වන බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා තම රෝහලට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත්කළ රිට් පෙත්සම යළි කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මෙම විරෝධය මතු කර සිටියේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැදවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය අත්හිටුවීමේ අතුරු සහන ඉල්ලීමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවය.

එම ඉල්ලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මහතා විරෝධය පළකර සිටියේය.

මෙම පෙත්සම විභාගයට නියම කර තිබියදී මේ ආකාරයෙන් අතුරු සහන ඉල්ලීම් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙත්සම්කාර පාර්ශවය මෙම නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් නොකොට මේ ආකාරයෙන් අතුරු සහන  අයැද සිටීමට හැකියාවක් නොමැති බවත් කරුණු දක්වා සිටියේය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳ විභාගය ලබන 22 වනදා කැඳවීමට දින නියම කළේය.