අපනයන ආදායම පහළ යයි

අපනයන ආදායම පහළ යයි

April 29, 2023   10:07 pm

2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ ආයතනය විසින් 2023 වසරේ මාර්තු මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබුණි.

එම වාර්තාව අනුව 2023 වසර තුළදී පළමුවරට අමෙරිකානු ඩොලර් බිලියනක් ඉක්මවා ගිය වෙළෙඳ භාණ්ඩ අපනයන 2023 වසරේ මාර්තු මාසයේදී යථා තත්ත්වයට පත්වී තිබේ.

කෙසේවෙතත් මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනක් දක්වා 2%කින් සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වෙයි. 

2023 වසරේ මාර්තු මස අපනයන ආදායම පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ යාම හේතුවී තිබේ.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන සඳහා අමෙරිකාව ඇතුළු යුරෝපයේ පැවති ඉල්ලුම අඩුවීමය.

එමෙන්ම මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.

ඊට හේතුවී ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදී උත්සව සමයේ ඇතිවු ඉල්ලුම සහ ඉන්ධන ආනයනය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වීම බව මහ බැංකුව පෙන්වා දෙයි. 

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයන් මේ වසරේ මාර්තු මසදී මෙරටට එවූ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. 

2023 වසරේ මාර්තු මස අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට චින මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් අතර එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් වෙයි.

එමෙන්ම මාර්තු මසදී දේශිය විදේශ විනිමය වෙළෙඳපොලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 451ක ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගෙන ඇති බව සිය වාර්තාව මගින් මහ බැංකුව පෙන්වාදෙයි. 

මාර්තු මාසයේදී සංචාරක පැමිණීම 125,495ක් ලෙස සටහන් වු අතර වසරේ ගතවු මාස තුනක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබේ. 

මාර්තු මසදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනියෙන් බව වාර්තාවෙයි.