ක්‍රෙම්ලිනයෙන් යුද බිමට ගිය පුත්‍රයා

ක්‍රෙම්ලිනයෙන් යුද බිමට ගිය පුත්‍රයා

April 24, 2023   10:13 pm

රුසියානු ජනපතිගේ සමීපතමයෙකුගේ පුත්‍රයාද යුක්‍රේනයට එරෙහිව යුද්ධයට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස යුද බිමට පිවිස ඇත්තේ ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ගේ පුත්‍රයායි.

නිකොලායි පෙස්කොව් වන ඔහු මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිකොලායි පෙස්කොව් වැග්නර් කුලී හමුදාව සමග මාස 6ක කාලයක් යුක්‍රේනයේ සටන් වල නිරතව සිට ඇති බවය.

ඔහු බක්මූට් ප්‍රදේශයේ සටන්වල නිරත වූ බව එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

නිකොලායි පෙස්කොව් බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇත.

විශිෂ්ඨ ලෙස ඉංග්‍රීසි භාෂාව කතාකළ හැකි නිකොලායි පෙස්කොව් රුසියානු රාජ්‍ය රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම මිතුරන් වැග්නර් කුලී හමුදාව සමඟ එක්වීමත් සමඟ සිය යුතුකම ඉටුකිරීමට තමන්ද යුද බිමට පිවිසි බවය.

තම පියාගේ සම්බන්ධතා තහවුරුවීම වැළැක්වීම සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් ඒ සඳහා භාවිත කළ බවද නිකොලායි පෙස්කොව් වැඩිදුරටත් සඳහන් කර තිබේ.