කල්ඉකුත් වූ කිරිපිටි යොදා සිදුකළ ජාවාරමක් වටලයි
April 11, 2023 07:56 pm
කල්ඉකුත්වූ ආනයනික කිරිපිටි සහ රසකාරක ද්‍රව්‍ය තොගයක් තොටළඟ ෆර්ගියුෂන් පාරේ ගබඩාවක තිබියදී සොයාගැනීමට විශේෂ කාර්යය බළකායේ බුද්ධි කොට්ඨාසය අද (11) සමත් විය.
වැටලීම සිදු කෙරුණේ පාරිභෝගික කටයුතු අධිකාරිය සමග එක්වය.
2020, 2021 සහ 2022 වර්ෂවල කල්ඉකුත් වූ භාණ්ඩ රැසක් එහිදී හමුවූ අතර කල්ඉකුත් වූ කිරිපිටි සහ රසකාරක නව නිෂ්පාදන සමග මිශ්‍රකර බෙදාහැරීමේ ජාවාරමක් කලක සිට ක්‍රියාත්මක වී ඇති බවත් හෙළිදරව් වුණි.
වැටලීම් නිලධාරියෙක් - "මේ ටික හොඳ ඒවාද ? කල්ඉකුත්වූ ඒවාද ?"
ගබඩාවේ සේවකයෙක් - "කල්ඉකුත්වූ ඒවා..."
වැටලීම් නිලධාරියෙක් - "කල්ඉකුත් වුණ දවස කියන්න ඔයා"
ගබඩාවේ සේවකයෙක් - "2022.12.18"
වැටලීම් නිලධාරියෙක් - "ඇයි මේවා මෙතන තියාගෙන ඉන්නේ ?"
ගබඩාවේ සේවකයෙක් - "අපි කලවම් කරලා පැක් කරනවා."
වැටලීම් නිලධාරියෙක් - "කල්ඉකුත් වුණු කිරිපිටි මිශ්‍ර කරලා අලුත් එකක් හදන්න.. මෙච්චර වටිනා යන්ත්‍රත් අරගෙන. අර කල්ඉකුත් වුණු කිරිපිටි එකයි... කල්ඉකුත් නොවූ කිරිපිටි එකයි දෙක කලවම් කරලා කිලෝ එකේ අලුත් පැකට් එකක් හදනවා."
ගබඩාවේ සේවකයෙක් - "අයිස් ක්රීම්වරලට දාන්න."
වැටලීම් නිලධාරියෙක් - "අයිස්ක්‍රීම්වලට දාන්න... අයිස් ක්‍රීම් පොඩි ළමයිනේ කන්නේ. හොඳට ලස්සනට ව්‍යාපාරය කරලා තියෙනවා. දැන් ඔය කඩේ තියෙන්නේ මිශ්‍ර කරපු එක නේද ? කඩේට කොල් එකක් දීලා කියන්න වහාම නවත්වන්න කියලා.. විකුණන එක. මං දැක්කා මිනිස්සු පැකට් 10, 15 ගෙනියනවා."
මේ අතර උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන ලබානොදෙන වෙළෙඳසැල් වැටලීම් මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මකය.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට නඩු පැවරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී කටයුතු කර තිබේ.
මේ අතර උත්සව සමය හේතුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා බිත්තරයක් රුපියල් 44 සහ 46 අතර මිලකටත්, කුකුළු මස් කිලෝවක් රුපියල් 1,350 ට අඩු මිලකටත් අලෙවි කරන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය සිල්ලර සහ තොග වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටී.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු කැවිලි මිලදී ගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව කැවිලි වෙළෙඳුන් පවසයි.