දෙවුන්දර තුඩුවට චීන රේඩාර් මධ්‍යස්ථානයක් ?

දෙවුන්දර තුඩුවට චීන රේඩාර් මධ්‍යස්ථානයක් ?

April 10, 2023   01:28 pm

ඉන්දියන් සාගරයේ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සහ දකුණු ඉන්දියාවේ මර්මස්ථාන පිළිබඳ තොරතුරු ලබාගැනීමට චීනය විසින් මෙරට දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අද (10) දිනය තුළ නිවේදනයක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේය. 

චීනය විසින් ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත්, එමගින් ඉන්දීය සාගර කලාපය තුළ ඉන්දීය නාවික හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකිවනු ඇති බවත් ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

එමෙන්ම අදාළ රේඩාර් මධ්‍යස්ථානය මගින් දකුණු ඉන්දියාවේ පිහිටි කුඩන්කුලම් සහ කල්පක්කම් න්‍යෂ්ටික බලාගාර ඇතුළු දකුණු ඉන්දීය උපාය මාර්ගික මර්මස්ථානවල තොරතුරු ලබාගැනීමට චීනයට හැකිවනු ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.

අන්දමන් සහ නිකෝබාර් දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාන්ත්‍රා එම යෝජිත රේඩාර් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ පථයට ග්‍රහණය වන බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව මෙම රේඩාර් මධ්‍යස්ථානය පිහිටවනු ලැබුවහොත් කලාපයේ ඉන්දීය ක්‍රමෝපාය අභිලාෂයන් මෙන්ම දකුණු ඉන්දියාවේ වැදගත් මර්මස්ථානවල තොරතුරු අවදානමකට ලක්වන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් පැවසේ.

ඉන්දියන් සාගරයේ පිහිටි දියේගෝ ගාර්ෂියා දිවයින තුළ සිදුකෙරෙන අමෙරිකානු නාවුක හමුදා ක්‍රියාකාරකම් ග්‍රහණය කර ගැනීමටද මෙම නව රේඩාර් මධ්‍යස්ථානය තුළින් චීනයට හැකියාව ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ චීනය විසින් හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දකට ලබාගත් පසු යුවාන් වැන්ග් 05 නෞකාව එහි පැමිණීම සහ ණය අර්බුදය හේතුවෙන් මෙම නව රේඩාර් මධ්‍යස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් වූ චීන යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාවට දුෂ්කර වනු ඇති බවය. 

දෙවුන්දර තුඩුවේ ඇති උපක්‍රමශීලි වැදගත්කම පිළිබඳ විස්තරාත්මකව සඳහන් කර ඇති ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත එහිදි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ යෝජිත චීන රේඩාර් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට දැඩි අභියෝගයක් එල්ල කළ හැකි බවය.