විභාගය ට කලින්ම පේපර් එළියට ඇවිත්

විභාගය ට කලින්ම පේපර් එළියට ඇවිත්

March 12, 2023   08:14 pm

මධ්‍යම පළාත් පාසල්වල තෙවැනි වාර විභාගය සඳහා එම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සකස් කළ ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරුපත්‍ර කිහිපයක් විභාගයට පෙර සිසුන් අතට පත්ව ඇති බවට ගුරුවරු චෝදනා කරති.

එසේ පිටවී ඇති බව පැවසෙන්නේ 10 සහ 11 ශ්‍රේණිවල ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කිහිපයකි.

ඉකුත් බ්‍රහස්පතින්දා පැවති බුද්ධ ධර්මය, පසුගිය සිකුරාදා පැවති ඉංග්‍රීසි විෂයවල ප්‍රශ්න පත්‍ර ඊට පෙර දිනවල පිටවී තිබූ බවත් එමෙන්ම හෙට (13) පැවැත්වීමට නියමිත සිංහල විෂය සහ ඉදිරියේදී පැවැත්වෙන ගණිතය විෂය ප්‍රශ්න පත්‍ර ද මේ වන විට පිටවී ඇති බව පැවසෙයි.

එම ප්‍රශ්න පත්‍ර වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිසුන් අතර හුවමාරු වී ඇති බවට ගුරුවරු චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුරුවරයෙක්,

"සමහර ශිෂ්‍යයෝ අතේ සමස්ථ ප්‍රශ්නපත්‍ර 09ම වට්ස්ඇප් ගෘප්වල තියෙනවා. වාර විභාග ප්‍රශ්නපත්‍රය දරුවෝ ළඟ තිබෙනවා නම් අපි ළමයින්ට අධ්‍යාපනය දෙන එකේ තේරුමක් නැහැ. අපේ අවසාන අවස්ථාවත් ගිලිහී ගියා ළමයෙකුගේ දක්ෂතාවය මනින. මේක මීට කලිනුත් සිදුවුණ දෙයක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒක නිසා හරිම කනගාටුදායක තත්ත්වයක්."    

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසුන්,

"වට්ස්ඇප් මාර්ගය ඔස්සේ ප්‍රශ්නපත්‍ර ටික දාලා තිබුණා. විභාගයක් තිබෙන්නේ අපගේ මට්ටම පරීක්ෂා කරගන්න. එහෙම ඇවිල්ලා තිබුණාම වැඩක් නැහැ නේද ?"

මේ පිළිබඳ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අමරසිරි පියදාස මහතාගෙන් "අද දෙරණ" විමසීමක් කළේය.

ඔහු පැවසුවේ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලය හරහා පාසල් වෙත ලබා දී තිබියදී මෙය සිදුව ඇතැයි අනාවරණ වී ඇති බවය.

මෙය කඩඉම් විභාගයක් නොවන බැවින් විභාගය සැලසුම් කළ පරිදි පවත්වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා,

"හෙට විභාගය තියෙනවා. මේ විභාගය සමත් කරවීමේ විභාගයක්වත්, තෝරාගැනීමේ විභාගයක්වත් නෙවෙයි. කවුරු හෝ විදුහල්පතිවරයෙක් මාර්ගයෙන් හෝ ගුරුවරයෙක් මාර්ගයෙන් අනවබෝධය මත තමයි මේ ප්‍රශ්නපත්‍ර එළියට දාලා තියෙන්නේ. ඒ අය සියුම් සතුටත් ලබනවා ඇති මේ ප්‍රශ්නපත්‍ර එළියට දැමීම සම්බන්ධයෙන්. අවශ්‍ය වුණොත් නගරයේ පාසල්වලට නැවත පරීක්ෂණයක් කරන්න විදුහල්පතිවරුන්ව දැනුම්වත් කරනවා. අපි විශාල වියදමක් කරලා මේ වෙලාවේ තිබෙන ආර්ථික ගැටලුවලටත් මුහුණදෙමින් මුල්‍ය කළමනානරණය කරගෙන තමයි මේ ප්‍රශ්නපත්‍ර අපි සකස් කළේ."