තවත් බේදවාචකයක්

තවත් බේදවාචකයක්

March 5, 2023   10:18 pm

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් ගවයින් 30කට අධික ප්‍රමාණයක් මේ දිනවල මියගොස් ඇති බව කිළිනොච්චිය ගොවීහු පවසති.

ඔවුන් පැවසූවේ, ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර, එම ගෙඩි පුපුරා තුවාල ඇති වී ඇතැම් ගවයින් මියයමින් සිටින බවය.

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර තුළ ගවයින් 250කට අධික ප්‍රමාණයකට එම රෝගය ට ගොදුරු වී ඇතැයි වාර්තා වෙයි.

එම සංඛ්‍යාව පිළිබඳ නිසි ගණනයක් සිදුකොට නොමැති බැවින් රෝගයට ගොදුරු වූ ගවයින් ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද ගොවීන් සඳහන් කළහ.

දිස්ත්‍රික් පශූ වෛද්‍ය නිලධාරීන් ගොවි ජනතාවට සඳහන් කර ඇත්තේ, ගවයින්ට හටගන්නා පැපොල රෝගී තත්ත්වයක් දිස්ත්‍රික්කයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවය.

ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයට ලබාදෙන බෙහෙත් පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත්ව නොමැති බවද ගොවි ජනතාව පැවසූහ.

පසුගිය සමයේ හටගත් අධික සීතල කාලගුණ තත්ත්වයකින් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් මිය ගියහ.