ඉදිරි වසර 05 පිළිබඳ ජනපතිගේ අපේක්ෂාව
March 2, 2023 06:00 pm
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද (02) පැවැති උත්සවයට එක්වෙමිනි.
රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර්, විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අද සිට මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.
විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපතිවරයා පාපැදි, විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"වෝල්ටා සමාගමේ දක්ෂතා නැරඹීම සඳහා පැමිණීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. රජය පාර්ශ්වයෙන් මෙම ව්‍යාපාරයට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ අපි සොයා බලනවා. හරිත බලශක්ති ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර අපි අගය කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථීකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමුකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. දැන් ලෝකයේ රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ලෙස අපිත් එම ගමන් මාර්ගයට අවතීර්ණ විය යුතුයි."
"ඉදිරි වසර පහක කාලය තුළ හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමුවීම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කරගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ස්ව ශක්තියෙන් නැඟීසිටින මෙවැනි ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් රටට අවශ්‍යයයි. ඒ නිසා ජගත් මාකවිට මහතාගේ මෙම ව්‍යාපාරයට මම සුබ පතනවා."