සාගල රත්නායක බැංකු ප්‍රධානීන් හමුවෙයි

සාගල රත්නායක බැංකු ප්‍රධානීන් හමුවෙයි

February 28, 2023   05:46 pm

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී බැංකු ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කර ඇත.

එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

මේ අතර සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.