ඡන්දය දිනාගැනීමට විපක්ෂයෙන් තීරණ කිහිපයක්

ඡන්දය දිනාගැනීමට විපක්ෂයෙන් තීරණ කිහිපයක්

February 21, 2023   07:18 pm

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (21) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, ඡන්දය කල්දැමීමට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බ්නධයෙනි.

ඔවුන් පවසන්නේ ඡන්දය කල්දැමීමට ආණ්ඩුව අත්තනෝමතික කුමන්ත්‍රණයක නිරතවන බවය.

ඒ අනුව ඡන්දය කල්දැමීමට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ වෙනුවෙන් සක්‍රියව මැදිහත්වීමටත් මෙහිදී තීන්දු කර තිබේ.

මේ අතර නිදහස ජනතා සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ, පළාත් පාලන ඡන්ද වීමසීම, ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ නියමිත කාල තුළදී පැවැත්විය යුතු බව ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවය.

නමුත් ඉතිහාසයේ ප්‍රථම වරට රජයක් මූල්‍ය සම්පත් නොමැති බව පවසමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කර ඇති බවත්, එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන පද්ධතිය කෙරෙහි තීරණාත්මකව බලපාන අනතුරුදායක පූර්වාදර්ශයක් බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙවන් පසුබිමක පළාත් පාලන ආයතනවල කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරු සහ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,

"රටක සල්ලි නැත්තම්.. සල්ලි හොයාගන්න පුළුවන් නිශ්චිත දිනය ගැන රටට ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට අපිට ඒකට ලෑස්ති වෙන්න පුළුවන්."

එවන් පසුබිමක පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙසට බලකරමින් ජාතික ජනබලවේගය අද ගාල්ල සහ බදුල්ලේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මේ අතර රට තුළ පවතින ආර්ථික තත්ත්වය සලකා පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන්නැයි ඉල්ලමින් සිවිල් සංවිධාන එකමුතුව මැතිවරණ කොමිෂන් සභාවට අද සන්දේශයක් භාරදුනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කතෝලික සභාව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කර කියා සිටියේ පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බව කාදිනල් හිමියන්ගේ ස්ථාවරය වන බවය.